චීනයේ කොවිඩ් වසංගත පාලනය සාර්ථකයි- වෛරසවේදී විද්‍යාඥ, මහාචාර්ය තිස්ස විතාරණ
2022-12-27 14:54:16
Share with:

කොවිඩ් වසංගත පාලනයෙන් ඉදිරියෙන්ම සිටින රටක් ලෙසට තමන් චීනය දකින බව වෛරසවේදී විද්‍යාඥ ,හිටපු කැබිනට් අමාත්‍ය, ලංකා සමසමාජ පක්ෂයේ නායක,  පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි. විද්‍යානුකූල වෛරස පාලනයක් චීනය තුළ දැකිය හැකිය. චීන එන්නත් සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව නගන මතවාද හෙතෙම පිළි නොගනී. කොවිඩ් වෛරසය වෙනුවෙන් ප්‍රධාන වශයෙන් එන්නත් වර්ග දෙකක් හඳුන්වාදීම සිදුවිය. ඉන් එක් වර්ගයක් MRNA වශයෙන් හැඳින්වෙන අතර අනෙක් වර්ගය අක්‍රීය වෛරස එන්නත්ය.මෙම දෙවර්ගයෙන් වඩාත් මෑත කාලීන එන්නත් විශේෂයක් ලෙසට MRNA එන්නත් හඳුන්වා දිය හැකි බව මහාචාර්ය තිස්ස විතාරණ මහතා කියා සිටී. එහෙත් මෙම වර්ගයේ දිගු කාලීන අතුරු ආබාධ පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොමැත. අනෙක් වර්ගය වන අක්‍රීය වෛරස එන්නත් දිගු කාලයක් පුරා සාම්ප්‍රාදායික වශයෙන් භාවිත කළ එන්නත් විශේෂයක් බැවින් එහි කාර්යක්ෂමතාව මෙන්ම අතුරු ආබාධ පිළිබඳවද පැහැදිලි අවබෝධයක් පවතී. ඊට සම්බන්ධ වෛද්‍ය දත්ත ප්‍රමාණය ද බහුලය. මෙම කරුණු මත මෙම අක්‍රීය වෛරස එන්නත් අතුරු ආබාධ ඉතා අඩු, කාර්යක්ෂමතාවෙන් ද සපිරි එන්නත් විශේෂයක් ලෙසට තමන් දකින බව හෙතෙම කියා සිටී. චීන‌ය විසින් නිපදවනු ලැබූ ප්‍රධාන එන්නත් වර්ග දෙක වන SINOPHARM හා  SINOVAC යන එන්නත් වර්ග සඳහා භාවිත කෙරුණේ මෙම අක්‍රීය වෛරස තාක්ෂණයන් ය. කොවිඩ් වෛරසයේ ප්‍රභේද ගණනාවක් මතුවූ අතර වර්තමානයේ පවතින ඔමික්‍රොන් ප්‍රභේදය වේගයෙන් සම්ප්‍රේෂණය වුවද මරණ සංඛ්‍යාව පෙර ප්‍රභේද හා සැසඳීමේදී අඩු මට්ටමක පවතී. මෙම ප්‍රවණතාවන් කොවිඩ් පාලන පියවරයන් හිදී සැලකිල්ලට ගත යුතු බවද හෙතෙම කියා සිටී. කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් ඇතැම් බටහිර පාර්ශව නගන චෝදනා තමන් බැහැර කරන බවද වෛරසවේදී විද්‍යාඥ , මහාචාර්ය තිස්ස විතාරණ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම