දේශීය ඖෂධ සඳහා ප්‍රමුඛස්ථානය ලබා දෙමින් වසංගතය මෙන්ම ආර්ථිකය මනාව කළමනාකරණය කළ චීනය
2022-12-26 09:55:08
Share with:

කොවිඩ් වසංගතයේ බලපෑම් හමුවේ චීනය සිය ආර්ථිකය ස්ථාවරව පවත්වා ගෙන යාම ලෝකයටම ආදර්ශයකි. පැහැදිලි සැලසුමක් සහිතව වසංගතය කළමනාකරණය කර ගැනීමට චීනය සමත් විය. බ්‍රිතාන්‍යයේ ආර්ථික හා ව්‍යාපාර පර්යේෂණ මධ්‍යස්ථානයේ වාර්තා මගින් ද චීනයේ ආර්ථික කළමනාකරණයේ විශිෂ්ඨත්වය තහවුරු කර ඇති බව ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සේනක ගමගේ මහතා පවසයි.

තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ දක්නට ලැබූ කාර්යක්ෂමතාව, ආර්ථිකය වඩා හොඳින් කළමනාකරණය කර ගැනීමේ දී හේතු සාධක වී ඇත. ඔවුහූ සිය නිෂ්පාදන ආර්ථිකය අඩපණ වීමට ඉඩ නොදී එහි අඛණ්ඩ කාර්යක්ෂමතාව උදෙසා පියවර ගත්හ. එන්නත් සහ අනෙකුත් ශල්‍ය උපකරණ නිෂ්පාදනය කරමින් සහ බෙදා හරිමින් සෞඛ්‍ය අංශයේ පහසුකම් ද ඉදළ නැංවීමට චීනය සමත් වූ බව හෙතෙම කියා සිටී.

චීනයට කෙටි කාලයක් තුළ වසංගතය පාලනක කර ගැනීමට බලපෑ ප්‍රධාන සාධකය වන්නේ චීන සාම්ප්‍රදායික ඖෂධ භාවිතයට ගැනීමයි. අන් රටවලට සාපේක්ෂව වසංගතය හමුවේ චීනය තමන්ට ආවේණික චීන සාම්ප්‍රදායික ඖෂධ වැඩි වශයෙන් භාවියට ගැනීම දක්නට ලැබිණ. එබැවින් සංකූලතා අවම කර ගනිමින් සහ මරණ අනුපාතය අඩු කර ගනිමින් වසංගතය පාලනය කර ගැනීමට චීනය සමත් විය.

වසංගතය පාලනය සඳහා එරට සෞඛ්‍ය කණ්ඩායම් විවිධ අවස්ථාවන්වල තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ කර ගත් අතර, එහි දී චීන සාම්ප්‍රදායික වෛද්‍යවරුන් ද සම්බන්ධ කර ගත් අයුරු දක්නට ලැබිණ. රෝගීන්ගේ ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට, පෙනහලු පිරිසිදු කිරීමට සහ අතුරු ආබාධ අඩු කර ගැනීමට මෙම සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රමය හේතු වූ බව ද ඔහු ප්‍රකාශ කළේය.

කොවිඩ් වසංගතයේ බලපෑම් හමුවේ සිය ආර්ථිකය නිසි ලෙස හසුරවමින්, සිය ජාතික සම්පත්වලට වැඩි අවස්ථාවක් ලබා දෙමින්, බිලියන ගණනක් වූ චීන ජනතාවට සෞඛ්‍ය සුරක්ෂිතභාවය ළඟා කරවීමට චීනය අනුගමනය කළ වැඩපිළිවෙළ ලෝකයේ සියලු රටවලට පූර්වාදර්ශයන් සපයන බව ද වෛද්‍ය සේනක ගමගේ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම