චීනයේ වසංගත පාලනයේ ඵලදායී සාර්ථකත්වය - ප්‍රවීණ මාධ්‍යවේදී රමේෂ් වරල්ලේගම
2022-12-23 11:00:42
Share with:

අභියෝග මතින් නැගී සිටීම චීනයට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. චීන කොමියුනිස්ට්  පක්ෂ නායකත්වය යටතේ ඔවුන් සියවසක් තුළ මෙවන් ශීඝ්‍ර සංවර්ධනයක් අත්පත් කර ගත්තේ ඔවුන්ගේ මෙම නොසැලෙන ධෛර්යයත්,  නිසි කළමනාකරණයත් හේතුවෙනි.

ගෝලීය වශයෙන් සෑම රටක්ම දැඩි අසීරුවට පත්වූ කොරොනා වසංගතය පාලනය කිරීමට චීනය ක්‍රියාකළ ආකාරය තුළින් ද ඒ බව ප්‍රකට වෙතැයි ප්‍රවීණ මාධ්‍යවේදී රමේෂ් වරල්ලේගම මහතා කියාසිටී.

ගෝලීය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත්කෙරුණු දරුණු වසංගත අවදියේ පවා චීන බලධාරීන් කටයුතු කළේ ඉතා සැලසුම් සහගතව  ය. ‍එම කළමනාකරණ ක්‍රමවේද යටතේ සෙසු සියලු අංශයන්හි  ක්‍රියාකාරීත්ව අඛණ්ඩව පවත්වා ගැනීමට ද චීනය සමත් විය. 

චීන සාම්ප්‍රදායික ඖෂධ මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරමින් බෙදාහැරීමට චීනය පියවර ගත්තේය. එසේම නව එන්නත් නිෂ්පාදනය කර ඒවා ලෝකයට ලබාදීමට ද චීනයට හැකිවිය. එන්නත් මෙන්ම ඖෂධ තොග මානුෂීය ආධාර ලෙස පිරිනැමීමට ද ඔවුහූ ක්‍රියා කර තිබේ.

ලොව දැවැන්ත ක්‍රීඩා ඉසව්වක් වන ශීත ඍතු ඔලිම්පික් උළෙල චීනය බෙයිජිං අගනුවර දී සාර්ථකව පැවැත්වූයේ වසංගතය දැඩිව ව්‍යාප්ත වෙමින් පැවති කාලයේ දී ය. ක්‍රීඩකයන්ගේ මෙන්ම සහභාගි වන සියලුදෙනාගේ ආරක්ෂණය සහතික කරමින් එය පැවැත්වීමට චීනය සමත් වූයේ ලෝකයේ පැසසුම් දිනාගනිමිනි.

මෙම කාලය තුළ තම සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව පවත්වා ගැනීමටත් කොමියුනිස්ට් පක්ෂ බලධාරීහු නිසි පියවර යෙදූහ. මේ නිසා රටේ ආර්ථික වර්ධනය ස්ථාවරව පවත්වා ගැනීමට හැකිවීම සුවිශේෂ සාර්ථකත්වයක් බව වරල්ලේගම මහතා පෙන්වාදෙයි. එසේම විවෘත භාවය පිළිබඳ ප්‍රතිපත්තිය රැකගනිමින් චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය වැනි ලොවට ආයෝජන අවස්ථා සපයන වේදිකා සාර්ථකව පවත්වා ගැනීමටත් චීනය සමත් වූයේ වසංගත පාලනය වෙනුවෙන් දරන ලද ප්‍රායෝගික ප්‍රයත්න ඔස්සේ යි. ෙ

නිසි සැලසුම් හා පාලනයකින් තොරව රටකට ස්ථාවර ඉදිරි ගමනක් නැත. චීනය එය ලොවට පසක් කරදෙමින් සිටින බව ප්‍රවීණ මාධ්‍යවේදී රමේෂ් වරල්ලේගම මහතා වැඩිදුරටත් කියාසිටී.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම