ඇමරිකාව අප්‍රිකාවේ විශ්වසනීයත්වය දිනාගැනීම වෙනුවෙන් සැබෑ කාර්යභාරයක් ඉටුකළ යුතුව ඇත
2022-12-20 11:17:54
Share with:

ඇමරිකාව විසින් පසුගියදා කැඳවනු ලැබුවේ දෙවන ඇමරිකානු-අප්‍රිකානු නායක සමුළුව යි. එය වසර අටකට පසු නැවතත් පවත්වනු ලැබීය. ඇමරිකානු ජනාධිපති Joe Biden, රාජ්‍ය ලේකම් Antony Blinken සහ ජාතිකාරක්ෂක ලේකම් Lloyd Austin සමුළුවට එක් වූ අතර, අප්‍රිකානු රටවල හා අප්‍රිකානු සන්ධානවල නායකයෝ 49 දෙනෙක් ද  ඊට සහභාගි වූහ. අප්‍රිකාව සමඟ සබඳතා පුළුල් කිරීම පිළිබඳ ඇමරිකාවේ පොරොන්දුව මෙවර සමුළුවේ දී යළි අවධාරණය කෙරුණු බව ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත. ඉදිරි වසර තුන තුළ අවම වශයෙන් ඩොලර් බිලියන 55 ක් අප්‍රිකාවේ ආයෝජනය කිරීමට Biden පරිපාලනය සැලසුම් කර තිබේ.

අප්‍රිකාවට සහනාධාර දීම සම්බන්ධයෙන් ඇමරිකාව පවසන දේ සහ සැබවින්ම ඉටුකරන දේ අතර බොහෝ විට විශාල පරතරයක් පවතී. "විදුලිබල අප්‍රිකාව" වැඩසටහන ලෙස උදාහරණයක් ගතහොත්, 2013 වසරේ ජූනි මාසයේදී එය ප්‍රකාශයට පත්කෙරුණේ එවකට ඇමරිකානු ජනාධිපති Barack Obama විසින් දකුණු අප්‍රිකානු සංචාරයේ දී ය. එම වැඩසටහන "අප්‍රිකාවේ අඳුරු ස්ථාන ආලෝකවත් කරනු ඇති" බව ඔහු පැවසීය. නමුත් 2020 වසර අවසානය වන විට, සපුරා තිබූ විදුලි උත්පාදනය, පොරොන්දු වූ ප්‍රමාණයෙන් හතරෙන් එකකටත් වඩා අඩුය.

මේ නිසා අප්‍රිකාව කෙරෙහි Biden පරිපාලනයේ පොරොන්දුව ද සැක සහිත ය. ඇමරිකානු ඩොලර් බිලියන 55ක ආයෝජනය අප්‍රිකානු රටවල් 50කට පමණ වෙන් කිරීමට සැලසුම් කෙරේ. වසර තුනකින් ක්‍රියාත්මක කිරීමට නියමිත එය, ලබන වසරේ අය-වැය සකස් කර ඉන් පසු වසරේ ඇරඹීමට අපේක්ෂිතය. ඒ සමගම රිපබ්ලිකන් පක්ෂය පාලනය කරන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට එය සම්මත කළ හැකිද යන ප්‍රශ්නයට ද මුහුණ දීමට සිදුවනු ඇත.

අප්‍රිකාවට වර්තමානයේ වඩාත්ම අවශ්‍ය වන්නේ දැවැන්ත රටවල අවංක සහාය යි. Bloomberg ඒජන්සිය පවසන ආකාරයට, ඇමරිකාව මෙසේ අප්‍රිකානු රටවල නායකයන් යළිත් පිළිගන්නේ, එම රටවල් නොසලකා හැර ඇති ඇමරිකානු ප්‍රතිරූපය නැවත ගොඩනගා ගැනීමේ අරමුණ ඇතිව යි. එසේ නම්, ඇමරිකාව අප්‍රිකාවට සැබවින්ම ගරු කළ යුතුය. අප්‍රිකාව වෙනුවෙන් වඩාත් ප්‍රායෝගික කාර්යභාරයක් ඉටුකරමින්, එම ජනතාවට එහි අවංකභාවය දැනෙන්නට ඉඩ හැර ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමට ක්‍රියා කළ යුතුය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම