ණය ගෙවීමට හැකි ආර්ථිකයක් ගොඩනඟන බව ජනපති අවධාරණය කරයි
2022-12-15 13:56:57
Share with:

ශ්‍රී ලංකාව පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට තමා කැපවීමෙන් කටයුතු කරන බවත්, ණය බරින් නිදහස් විය හැකි සහ ණය ගෙවීමට හැකි ආර්ථිකයක් රට තුළ ගොඩනඟන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කඩවත ප්‍රදේශයේ ඉදිකළ මෝටර් රථ අමතර කොටස් සැපයුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

යුද්ධයෙන් පසුව රටේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය නොවීමෙන්, වර්තමානයේ රට බංකොළොත්භාවයට පත්ව ඇති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, කෙසේ හෝ ආයෝජන අවස්ථා වැඩි කර ගනිමින් ලබන වසර වන විට ආර්ථිකය ඉදිරියට ගෙන යෑමට අපේක්ෂා කරන බව ද පැවසීය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආයෝජන ප්‍රවර්ධන අංශයත්, අපනයන සංවර්ධන මණ්ඩලයත් ඒකාබද්ධ කරමින් ආර්ථික සංස්ථාවක් ඇති කිරීමට පියවර ගන්නා බව ද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය .

රට තුළ ඩිජිටල් ආර්ථිකයක්, පරිසර හිතකාමි ආර්ථිකයක්, සමාජ සාධාරණ ආර්ථිකයක් මෙන්ම තරඟකාරී අපනයන ආර්ථිකයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම