චීනය සමග සබඳතා තර කරන බව විවිධ රාජ්‍ය නායකයෝ චීන ජනපති හමුවේ පවසති
2022-12-09 11:21:45
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විවිධ රාජ්‍ය නායකයන් සමග සාකච්ඡා පවත්වයි. චීන ජනාධිපතිවරයා සහ පලස්තීන ජනාධිපති Mahmoud Abbas මහතා, කුවේට් රාජ්‍යයේ ඔටුන්න හිමි Mishal Al-Ahmad Al-Sabah කුමරු සහ සුඩාන ස්වෛරීත්ව කවුන්සිලයේ සභාපති Abdel Fattah al-Burhan මහතා අතර හමුවීම් සෞදි අරාබියේ රියාද් අගනුවර දී ඊයේ(8) පැවැත්විණ.

ජාත්‍යන්තර හා කලාපීය තත්ත්වය කෙසේ වෙනස් වුවද, නීත්‍යනුකූල ජාතික අයිතීන් යළි ස්ථාපනය කිරීම සඳහා පලස්තීන ජනතාවගේ සාධාරණ ව්‍යායාමයට චීනය දැඩි ලෙස සහාය දක්වන බව ෂී ජින් පිං මහතා, පලස්තීන ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ දී පැවසීය. චීන-අරාබි සබඳතා ඉදිරියට ගෙන යාම සහ ගෝලීය සංවර්ධන මුලපිරීම් හා ගෝලීය ආරක්ෂක මුලපිරීම් ක්‍රියාවට නැංවීමේ දී පලස්තීනය සමඟ සන්නිවේදනය හා සහයෝගිතා ශක්තිමත් කිරීම චීනයේ අපේක්ෂාව  බව ද ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.

චීනය කුවේටයේ විශ්වාසවන්ත සහකරුවකු ලෙස අඛණ්ඩව ක්‍රියාකරයි. ද්විපාර්ශ්වික සබඳතාව තුළින් යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා කුවේට් රාජ්‍යය සමඟ එක්ව කටයුතු කිරීමට චීනය බලාපොරොත්තු වන බව ෂී ජින් පිං මහතා කුවේට් ඔටුන්න හිමි Mishal Al-Ahmad Al-Sabah කුමරු හමුවේ පැවසීය.

සුඩානයේ සංවර්ධනය සඳහා උපරිම සහාය අඛණ්ඩව ලබා දෙන චීනය  ඛනිජ තෙල්, කෘෂිකර්මාන්තය සහ පතල් කැණීම් යනාදී ක්ෂේත්‍රවල සහයෝගිතා ක්‍රියාවට නංවා තිබේ. සුඩානයේ ව්‍යාපෘති සංවර්ධනය සඳහා එක්වන ලෙස චීන ව්‍යවසායන් දිරිමත් කරන බව චීන ජනාධිපතිවරයා සුඩාන ස්වෛරීත්ව කවුන්සිලයේ සභාපතිවරයා හමුවූ අවස්ථාවේ දී අවධාරණය කළේය.

එකම චීනය ප්‍රතිපත්තියට ස්ථීරව සහාය දෙමින් “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ පොදුවේ සංවර්ධනයට සක්‍රියව සහභාගි වීමට කැමැත්තෙන් සිටින බව මෙම නායකයන් පවසා ඇත. එසේම, චීනය සමඟ විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව ද Mahmoud Abbas, Mishal Al-Ahmad Al-Sabah සහ Abdel Fattah al-Burhan යන මහත්වරු ෂී ජින්පිං මහතා හමුවේ ප්‍රකාශ කර තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම