චීන ජනපතිගේ තායිලන්ත සංචාරයෙන් අවධානය යොමු කෙරුණු ප්‍රධාන කරුණු දෙකක්
2022-11-20 16:54:00
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ තෙදින තායිලන්ත සංචාරය ඊයේ(19) නිමාවට පත්විය. මෙහිදී ෂී ජින්පිං මහතා  අවධානය යොමු කළ ප්‍රධාන කරුණු දෙකක් වූයේ ආසියා- ශාන්තිකර කලාපයේ සංවර්ධනය හා සමෘද්ධිය සහ චීන- තායිලන්ත මිත්‍රශීලී සහයෝගිතාව යි.

ෂී ජින්පිං මහතා APEC සංවිධාන නායකයන්ගේ 29 වන නිල නොවන රැස්වීමට ඊයේ (19) එක්විය. තිරසර වෙළෙඳාම සහ ආයෝජන ගැටළු පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණ. ෂී ජින්පිං මහතා යෝජනා තුනක් එම රැස්වීමට ඉදිරිපත් කළේය.එනම්, සැබෑ බහුපාර්ශ්වවාදය අනුගමනය කරමින් බහුපාර්ශ්වවාදී වෙළඳ පද්ධතියක් සහතික කළ යුතු ය. සමතුලිතතාව මෙන්ම අවබෝධය තුළින් පොදු ජයග්‍රහණ ලබාගත යුතු ය. එසේම විවෘත කලාපීය සහයෝගිතා පවත්වා ආසියා ශාන්තිකර කලාපයේ සමෘද්ධිය පොදුවේ තහවුරු කළ යුතු ය යනු චීන ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළ කරුණු යි.

ෂී ජින්පිං මහතා බැංකොක් හි අගමැති මන්දිරයේ දී, තායිලන්ත අග්‍රාමාත්‍ය Prayuth Chan-ocha මහතා සමඟ ඊයේ (19) සාකච්ඡා පැවැත්වීය. වඩාත් ස්ථාවර, සමෘද්ධිමත්, තිරසර මෙන්ම පොදු ඉරණමක් සහිත චීන-තායි ප්‍රජාවක් ගොඩනගන බවට නායක දෙපළ එහිදී ප්‍රකාශ කළහ.

දුම්රිය සහයෝගිතාව තහවුරු කිරීම චීන ජනාධිපතිවරයාගේ මෙවර සංචාරයේ කැපී පෙනෙන කරුණකි. චීනය, ලාඕසය සහ තායිලන්තය අතර ත්‍රෛපාර්ශ්වික දුම්රිය සහයෝගිතාව කඩිනම් කරමින් “චීන-ලාඕස-තායි ඒකාබද්ධ සංවර්ධන සංකල්පය” සක්‍රිය ලෙස ප්‍රවර්ධනය කළ යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

චීන-ලාඕස-තායි ඒකාබද්ධ සංවර්ධන සංකල්පය ක්‍රියාවට නැංවීම සඳහා තායිලන්ත-චීන දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් හා එය චීන-ලාඕස දුම්රිය මාර්ගය සමඟ සම්බන්ධ කිරීම කඩිනම් කළ යුතු බව ද තායිලන්ත අග්‍රාමාත්‍ය Prayuth Chan-ocha මහතා එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම