චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය තිරසර අනාගතයක් කරා ...
2022-11-11 11:35:51
Share with:

ඊයේ(10) ෂංහැයි නගරයේ දී සාර්ථකව නිමාවට පත් වූ 5 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ දී එළඹුණු ගිවිසුම්වල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 73.52ක් වූ අතර, එය පසුගිය වසරේ අගයට වඩා 3.9%කින් වර්ධනය වීම විශේෂත්වයකි.

නිල සංඛ්‍යාලේඛනයට අනුව, මෙවර ප්‍රදර්ශනයට රටවල්, ප්‍රදේශ හා ජාත්‍යන්තර සංවිධාන 145ක් සහභාගි වීම කැපීපෙනිණ. රටවල් හා ප්‍රදේශ 127ක ව්‍යවසායයන් 2800 කට වැඩි සංඛ්‍යාවක් නව නිෂ්පාදන, නව තාක්ෂණයන් හා නව‍ සේවා 438 ක් මෙහිදී ප්‍රදර්ශනය කර තිබේ. එය පසුගිය වසරේ වාර්තා වූ අගයයන් ඉක්මවා යාමකි. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයෙන් පසු චීනය පැවැත්වූ ප්‍රථම ජාත්‍යන්තර ප්‍රදර්ශනය මෙයයි. චීනයේ නවීන සංවර්ධන රටාව ගොඩනැංවීමේ කවුළුවක් වන මෙම ප්‍රදර්ශනය ගුණාත්මක මට්ටමේ විවෘතභාවය තහවුරු කිරීමේ වේදිකාවක් මෙන් ම ගෝලීය වශයෙන් බෙදාගන්නා අන්තර්ජාතික පොදු නිපැයුමක් බව මෙවර සාක්ෂාත් කරගැනුණු ප්‍රගතීන් මගින් යළි තහවුරු කර තිබේ.

මෙවර ආනයන ප්‍රදර්ශනයේ දී පූර්ව ගිවිසුම් අනුව, ඌන සංවර්ධිත රටවලින් පැමිණි ව්‍යවසායයන් 30කට පමණ නොමිලේ ප්‍රදර්ශන කුටි ලබාදීම තවත් විශේෂ කරුණකි. එම පිරිසට මෙවර ලබා දුන් ප්‍රදර්ශන කුටි සංඛ්‍යාව ද පසුගිය වසරට සාපේක්ෂව දෙගුණ වී ඇත. Guinea-Bissau ජනරජයේ කජු, ඇෆ්ගනිස්ථානයේ කාපට් වැනි නිපැයුම්වලට පවා සංවර්ධිත රටවල අධිතාක්ෂණික සහ විද්‍යාත්මක නිෂ්පාදන හා සමානව එහිදී සිය වෙළඳපොළ අවස්ථා සොයා ගැනීමට හැකිවීම ද විශේෂත්වයකි.

මෙවර ආනයන ප්‍රදර්ශනය යටතේ පැවති විශාල පරිමාණ වෙළඳ ආයෝජන වැඩමුළුවට අනුබද්ධ මාර්ගගත නොවන ක්‍රියාකාරකම් අවසන් වූ විගසම ඇ.ඩො. බිලියන 4ක වටිනාකමින් යුත් ගිවිසුමක් අත්සන් කර තිබේ. ඒ අනුව විදෙස් ව්‍යවසායයන් රැසක් චීනයේ ආයෝජනය කර කම්හල් ඉදිකිරීමට හා පර්යේෂණ මධ්‍යස්ථාන ස්ථාපනයට එකඟතා පළ කර තිබේ.

මීළඟ ආනයන ප්‍රදර්ශනය සඳහා ව්‍යවසායයන් කැඳවාගැනීමේ කටයුතු මේ වනවිටත් අරඹා ඇති අතර, ව්‍යවසායයන් හා ආයතන 60ක් පමණ ඊට අදාළ ගිවිසුම්වලට අත්සන් තබා ඇත. ‘ අනාගතය පොදුවේ බෙදාගන්නා ’ චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය තිරසර හෙට දිනයක් කරා අඛණ්ඩව ගමන් ගනු නොඅනුමානයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම