චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට ජනපතිගෙන් සුබ පැතුම්
2022-11-05 14:51:06
Share with:

5 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය, සංවර්ධනය වෙමින් පවතින රටවලට චීන වෙළඳපොළට ඇතුළු වීම සඳහා නව වේදිකාවක් සපයා ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටී.  ඊට සහභාගි වන සියලුදෙනාට දීර්ඝකාලීන ප්‍රතිලාභ හිමිවනු ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

වික්‍රමසිංහ මහතා මේ අදහස් පළකළේ 5 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ  සමාරම්භක උළෙලට එක්ව වීඩියෝ ආකාරයෙන් දේශනයක් පවත්වමිනි.  

ප්‍රදර්ශනයේ සාර්ථකත්වය වෙනුවෙන් සුබ පැතූ හෙතෙම චීන කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ධුරයට යළි තේරී පත්වීම සම්බන්ධයෙන් ජනාධිපති ෂී ජින් පිං මහතාට උණුසුම් ශුභාශිංසන පළකළේය.

 2017 දී එක් තීරයක් එක් මාවතක් මුලපිරීමේ පළමු සංසදයේදී ප්‍රථම වරට චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය එළිදැක්විණ.  එතැන් සිට එය ලෝක වෙළඳ ලිබරල්කරණයේ වැදගත් පියවරක් මෙන්ම ලොව පුරා ආර්ථික සංස්ථාව ශක්තිමත් කිරීමේ වැදගත් මෙවලමක් බවට පත්ව ඇතැයි ජනාධිපතිවරයා පවසයි. ආරම්භයේ සිටම ඊට සහභාගි වූ ශ්‍රී ලංකාව එතුළින් මනා ප්‍රතිලාභ ලබා තිබේ.

 රබර් සහල් ගිවිසුමෙන් ඇරඹුණු චීන- ශ්‍රී ලංකා මිත්‍රත්වයට මෙම වසරේ වසර 70ක් සපිරිණ. ද්විපාර්ශ්වික සබඳතා එතැන් සිට වෙළඳාම, ආයෝජන, සංචාරක, අධ්‍යාපනය, ආරක්ෂක සහ සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට ව්‍යාප්ත වී ඇත. 2021 දී දෙරට අතර මුළු වෙළඳාමේ පරිමාව ඇමෙරිකානු ඩොලර් බිලියන 4.3 කි. එසේම,  චීනය ශ්‍රී ලංකාවේ විශාලතම ආනයන ප්‍රභවය ද වෙයි. නුදුරු අනාගතයේ දී නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ වනු ඇතැයි ද ජනාධිපතිවරයා විශ්වාසය පළකළේය.

වසංගත අභියෝග මධ්‍යයේ වුවද, මෙම වැදගත් ආනයන ප්‍රදර්ශනයේ අඛණ්ඩ සාර්ථකත්වය සහතික කිරීම සඳහා කැප වී කටයුතු කළ චීන ජනාධිපතිවරයාටත් සහ අනෙකුත් නිලධාරීන්ටත් රනිල් වික්‍රමසිංහ මහතා හෘදයංගම සුබපැතුම් පිරිනැමීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම