නව ගමනේ නියමුවා --ෂී ජින්පිං
2022-10-26 20:48:52
Share with:

‘නව ගමනේ නියමුවා --ෂී ජින්පිං’ මැයෙන් චීනයේ ෂින්හුවා පුවත් සේවය විශේෂ වාර්තාවක් පළ කරයි.

නව චීනය පිහිටුවීමෙන් පසු ඉපදුණු, ප්‍රථම චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්වරයා වශයෙන්, ෂී ජින්පිං මහතා සමූහාණ්ඩුවේ පිබිදීම සියැසින් දුටු චරිතයකි. මව්රටට ඉහළ ගෞරවයක් දක්වමින්, දැඩි උනන්දුවකින් යුතුව රටේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ක්‍රියාමාර්ගයට ඔහු දායක වී සිටින්නේ එම ජීවිත පරිඥානය හේතුවෙනි. චීනයේ තිරසර සංවර්ධනය සඳහා පද්ධතිමය සැලසුම් සම්පාදනය කළ ඔහුගේ මඟපෙන්වීමෙන්, විවිධ ජනවාර්ගික ජනතාව ශක්තිමත් වී සිටිති. ප්‍රබල ජනප්‍රියත්වයක් සතු ෂී ජින්පිං මහතා විදේශීය පර්යේෂකයන් හා ජගත් දේශපාලනඥයන්ගේ නොමඳ පැසසුමට ලක්වන නායකයෙකි.

මීට දශකයකට පෙර ෂී ජින්පිං මහතා පක්ෂ මහලේකම් ධුරයට අලුතෙන් තේරී පත්වන අවස්ථාවේ චීනය ලොව දෙවැනි විශාලතම ආර්ථිකය බවට පත්ව සිටිය ද, දූෂණය, ඇතිනැති පරතරය හා පරිසර දූෂණය වැනි අභියෝග රැසකට රට මුහුණ පා තිබිණ.  ෂී ජින්පිං මහතා ප්‍රථමයෙන්ම සමස්ත චීන කොමියුනිස්ට් පක්ෂය දැඩි ලෙස පාලනය කිරීමේ උපායමාර්ගය ඉදිරිපත් කොට, ඊට අදාළ පසුබිම ද සැකසීය. එය ආණ්ඩු පක්ෂයේ ප්‍රතිරූපය යළි ගොඩනැගීමේ වැදගත් පියවරක් ලෙස සැලකේ. චීන ප්‍රජාතන්ත්‍රවාදය යනු, පූර්ණ ක්‍රියාදාම ප්‍රජාතන්ත්‍රවාදය බවත්, එය යොදාගැනෙන්නේ ජනතා ගැටළු විසඳීම සඳහා බවත් ඔහු පෙන්වා දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියේ දිවුරුම් දුන් ප්‍රථම චීන ජනාධිපතිවරයා, ෂී ජින්පිං මහතා ය. රටේ නීති පාලනය පූර්ණ වශයෙන් ඉදිරියට ගෙන යාම, ඔහු විසින් මෙහෙයවන ලද ගැඹුරු විප්ලවයකි. ‘ජනතා කේන්ද්‍රීය සංවර්ධන’  මූලධර්මයට අනුව, ‘‍නිර්මාණශීලී, සම්බන්ධීකරණ, හරිත, විවෘත හා පොදු ජයග්‍රාහී සංවර්ධන සංකල්පය’ ඔහු විසින් ඉදිරිපත් කෙරිණ. සමස්ත ජනතාවගේ පොදු පොහොසත්කම ළඟා කරගැනීමට එය රුකුලක් වී තිබේ.

දෙස් විදෙස් අවදානම් හා අභියෝගවලට මුහුණ දීමේදී ෂී ජින්පිං මහතා දැක්වූ අධිෂ්ඨානය, ධෛර්යය හා නොසැලෙන ගුණය ෂින්හුවා පුවත්‍ සේවය ඊයේ(25) පළ කළ සවිස්තර වාර්තාවෙන් විවරණය කර ඇත. ෂී ජින්පිං මහතා මෙහෙයවන චීන ලක්ෂණයෙන් යුතු නවීකරණය, මානව සමාජය මුහුණ පා ඇති අසීරුතා රැසකට විසඳුම් සපයමින් පවතී. එම උත්සාහය, නව මානව ශිෂ්ටාචාර රටාවක් නිර්මාණය කිරීමක් ලෙසට එම වාර්තාව මගින් අර්ථ නිරූපණය කර ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම