චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය නිමාවට පත් වේ
2022-10-22 13:07:12
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය නිමාවට පත් වේ.

අද (22) බෙයිජිංහි මහජන මහ ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් එම සමාප්ති රැස්වීම පැවැත්විණ. දින 7ක් පුරා පැවති   ජාතික කොංග්‍රස රැස්වීමේ දී පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි මධ්‍යම කාරක සභාව , විනය පරීක්ෂාව පිළිබඳ 20වැනි මධ්‍යම කොමිසම තේරී පත් විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි මධ්‍යම කාරක සභාවේ වාර්තාව, චීන කොමියුනිස්ට් පක්ෂයේ විනය පරීක්ෂාව පිළිබඳ 19වැනි මධ්‍යම කොමිසමේ කාර්ය සාධන වාර්තාව සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ද එහිදී සම්මත කෙරිණ.

ඉන් අනතුරුව ෂී ජින් පිං ජනාධිපතිවරයා දේශනයක් පැවැත්වීය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය ඉතාම සාර්ථක ව පැවැත්වුණු බව සඳහන් කරමින් හෙතෙම කියා සිටියේ එය චීනයේ ඉදිරි සංවර්ධනය සඳහා තීරණාත්මක මඟපෙන්වීමක් ලබා දෙනු ඇති බවයි. පක්ෂයේ මෙවර ජාතික කොංග්‍රසය ගෙවී ගිය වසර 5හේ රජයේ කටයුතු සහ නව යුගය වන පසුගිය දශකයේ ක්‍රියාත්මක වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්පිණ්ඩනය කරමින්, ඉදිරි කාලයේ චීනයේ සමාජවාදී නවීකරණ සංවර්ධන ක්‍රියාදාමය වෙනුවෙන් උපාය මාර්ගික සැලසුම් සකස් කර ඇති බව හෙතෙම පැවසීය.පාලක කොමියුනිස්ට් පක්ෂයේ ඉදිරි කටයුතු මෙන් ම රටේ ඉදිරි සංවර්ධන ඉලක්ක සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය පැහැදිලි මඟපෙන්වීමක් ලබා දී තිබෙන බව ෂී ජින් පිං මහතා කියා සිටී.

හෙතෙම සිය දේශනයෙන් කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන්ගේ වගකීම් හා යුතුකම් යළි අවධාරණය කර ඇත. මහජනතාවට සේවය කිරීමේ අභිප්‍රාය සැමවිටම සිත්හි රඳවා ගනිමින් කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය වඩාත් තහවුරු කරමින් පක්ෂ ව්‍යවස්ථානුකූල ව කටයුතු කරන ‍ලෙසත්, ඉදිරියේදී පූර්ණ ආත්ම විශ්වාසයෙන් යුතුව චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදී නව යුගය නිර්මාණය කිරීම වෙනුවෙන් උපරිමයෙන් කැපවන ලෙසත්, හෙතෙම සියලු පක්ෂ සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාතික කොංග්‍රසය සහ එම කොංග්‍රසය විසින් තෝරා පත් කර ගන්නා ලද මධ්‍යම කාරක සභාව, පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ ම නායකත්ව අංශයයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාතික කොංග්‍රසය සෑම වසර 5කට වරක් පැවැත්වේ.

චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදී නව යුගය නිර්මාණය කිරීම වෙනුවෙන් උපරිමයෙන් කැපවන ලෙස චීන ජනාධිපතිවරයා සියලු චීන කොමියුනිස්‍ට් පක්ෂ සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් කරයි

 

 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම