අභියෝග ජය ගනිමින් ඉදිරියට ගමන් කරන චීන කොමියුනිස්ට් පක්ෂයට සුභ පැතුම්
2022-10-19 10:03:15
Share with:

චීනය වර්තමාන ආසියාවේ මෙන්ම ලෝකයේම දැවැන්ත ආර්ථික බලයක්, තාක්ෂණික බලයක් ද හිමි කර ගෙන ඇත. මෙම වේගවත් සංවර්ධනය සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය ඉතා වැදගත් දායකත්වයක් ලබා දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි .

චීනය සිය පාලන තන්ත්‍රය තෝරා ගැනීමේ දී තමන්ටම ආවේණික වූ ක්‍රමවේදයක් අනුගමනය කළ අතර එය සාර්ථක කර ගැනීමට ද සමත් විය. චීනයේ සමාජවාදී ක්‍රමයක් තුළ ඉතා සාර්ථක සමාජ වෙළෙඳපොළක් නිර්මාණය කර තිබේ. එමගින් රටේ දරිද්‍රතාවය තුරන් කරමින් ලෝක ආර්ථිකයේ ප්‍රධාන බලවේගයක් බවට සිය ආර්ථික ව්‍යුහය පරිවර්තනය කිරීමට ද චීනය සමත් වූ බව පාඨලී චම්පික රණවක මහතා කියා සි‍ටී.

චීනය, ශ්‍රී ලංකාව සමග ද ඉතා සමීප සම්බන්ධයක් පවත්වා ගනිමින් සංවර්ධනාත්මක සහ සංස්කෘතිකමය දායාදයන් රැසක් ලබා දී ඇත. ලෝකයේ ආර්ථික බලයක් හිමි කර ගත් ඇතැම් රටවල්, අනෙකුත් රටවල් යටපත්කරගෙන ඒ ඒ රටවල සම්පත් සුරාකමින් යුධමය බලය මෙහෙයවමින් කටයුතු කරනු දැකිය හැකිය. එහෙත් චීනය එවැනි ක්‍රියාදාමයක නොයෙදුණු බව ඔවුන්ගේ සහයෝගිතාවය තුළින් පෙන්නුම් කෙරෙන බව හෙතෙම කියා සිටී.

ගෝලීය ආර්ථික අර්බුදය සමනය කිරීමට චීනය ඉදිරිපත් වූවා සේම, ඉදිරි ආර්ථික අවපාතය තුළ චීනයේ දායකත්වය ලෝකයම අපේක්ෂා කරන බව පාඨලී චම්පික රණවක මහතා කියා සිටී. චීනයට පවතින අනාගත අභියෝග ජය ගැනීම වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂයටත්, වර්තමාන ජනාධිපතිවරයාටත් ඉදිරියේ දී විශාල කාර්යභාරයක් සිදු කළ යුතුව ඇත. ඒ වෙනුවෙන් සහ කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසය වෙනුවෙන් සිය සුභ පැතුම එක් කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම