ආසියාවේ අනාගත සංවර්ධනයට දායකත්වය ලබා දෙන චීනයේ සංවර්ධන ජයග්‍රහණ
2022-10-12 09:28:23
Share with:

චීනයේ වර්තමාන සංවර්ධන ජයග්‍රහණ පිළිබඳ සලකා බැලිමේ දී එය දිගුකාලීන දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයකි. සිය ආර්ථිකය තුළ සිදු වූ පරිවර්තනයන් චීන ආර්ථිකයේ ස්ථාවරත්වයට ප්‍රධාන වශයෙන් හේතු විය. විදේශ වෙළෙඳපොළට ප්‍රවේශ වීම හරහා අද වන විට ඔවුන් හිමි කර ගෙන ඇති විදේශ වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3000කට වඩා ඉහළය. ඒක පුද්ගල ආදායම 2021  වර්ෂයේ දී සියයට 9ක වර්ධන වේගයක් පෙන්නුම් කිරීමෙන් ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාව වෙත ව්‍යාප්ත වීම ද චීනය තහවුරු කර ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, සමාජ සංඛ්‍යාන අධ්‍යනාංශයේ කථිකාචාර්ය සුරේෂ් නාලක මහතා පවසයි.

බොහෝ සංවර්ධන දර්ශකයන් තුළ චීනය කැපී පෙනෙන දියුණුවක් අත්පත් කර ගෙන ඇත. පර්යේෂණ සහ සංවර්ධන අංශයන්හි ද කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම්‍ කෙරේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ද චීනයේ වර්තමාන නිෂ්පාදන ක්‍රමයට අනුගත වන ලෙස සකස්කොට ඇත. එමෙන්ම වැඩි වන ජනගහනයට සාපේක්ෂව සිය ශ්‍රම බලකාය කාර්යක්ෂම ලෙස ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීමට චීනය සමත්ව ඇති බව ද හෙතෙම කියා සිටී.

නැගී එන තාක්ෂණ නිමැවුම් සඳහා ද සිය වෙළෙඳපොළ කොටස හිමි කර ගැනීමට ඔවුන් කටයුතු කරමින් සිටී. එපමණක් නොව අධි තාක්ෂණික භාණ්ඩ අපනයනයේ දී ලොව ප්‍රමුඛම රට බවට ද චීනය පත්ව ඇත. වර්තමානයේ ලොව ප්‍රධාන ආර්ථිකයක් බවට පත්වෙමින් අනාගතයේ දී ද තිරසර සංවර්ධන ප්‍රවේශයක් ළඟා කර ගැනීමට චීනයට ඉහළ හැකියාවක් ඇති බව හෙතෙම ප්‍රකාශ කළේය.

එමෙන්ම ආසියාවේ අනාගත සංවර්ධනයට ද චීනයේ දායකත්වය ඉතා වැදගත්ය. ආසියානු කලාපයේ ඉදිරි ප්‍රගමනය වෙනුවෙන් චීනය ලබා දෙන දායකත්වය හේතුවෙන් ආර්ථික අර්බුදයන්ට ද සාර්ථකව මුහුණ දීමට මෙම කලාපයට හැකි වී ඇත. චීනයේ මෙම ආර්ථික විභවතාව හරහා, සහයෝගීව කටයුතු කිරීමෙන් ආසියානු කලාපයට ආර්ථික ස්ථාවරත්වය සුරක්ෂිත කර ගැනීමේ අවකාශය පවතින බව ද කථිකාචාර්ය සුරේෂ් නාලක මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම