නෙළුම් කුළුණේ මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරේ
2022-09-12 14:54:35
Share with:

නවමු අත්දැකීමක් එක් කරමින් දකුණු ආසියාවේ උසම  ගොඩනැඟිල්ල වන “නෙළුම් කුළුණේ” මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඇමරිකානු ඩොලර් මිලියන 113කට ආසන්න මුදලකින් නෙළුම් කුළුණේ ඉදිකිරීම් 2012 වසරේදී ආරම්භ කෙරුණු අතර 2022 පෙබරවාරි 28 වන දින ඉදිකිරීම් අවසන් කරමින් එය ශ්‍රී ලංකා රජයට භාර කෙරිණ.

කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගම මහා භාණ්ඩාගාරය යටතේ මේ වසරේ මාර්තු මාසයේ දී ස්ථාපිත කළ සමාගමක් වන අතර, එහි සියලු ගනුදෙනු විගණකාධිපති දෙපාර්තමේන්තුව මඟින් විගණනය කෙරේ.

ලෝකයේ ධනවත් රටවල මෙන් විනෝදාස්වාදය සහ නව තාක්ෂණික අත්දැකීම්  ලබාදීමට ඉන් සැලසුම් කර ඇති බව කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගමේ ප්‍රධාන පාරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.

මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ ඕනෑම අයෙකුට ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන මෙම පහසුකම් අත්විඳිය හැකිය.ඒ සඳහා වන ප්‍රවේශ පත්‍රයක් රුපියල් 500ක් සහ රුපියල් 2000ක් වන අතර විදේශිකයෙකු විසින් ඇමරිකානු ඩොලර් 20ක මුදලකට ප්‍රවේශ පත්‍රයක් ලබාගත යුතු ය. රුපියල් දෙදහසේ ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා ඕනෑම අයෙකුට පෝළිම්වල රැදී නොසිට පරිශ්‍රයට ඇතුළුවිය හැකි අතර, අවස්ථා කිහිපයකදී වුවද කුළුණේ ඉහළට යා හැකිය. රුපියල් 500 ප්‍රවේශ පත්‍රය ලබාගන්නා අයෙකුට කුළුණේ ඉහළට යා හැක්කේ එක් වතාවක් පමණි.

නෙළුම් කුළුණේ මෙහෙයුම් කටයුතු නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලාංකීය ජනතාවට සහ සංචාරකයින්ට නව සංචාරක ගමනාන්තයක් සලසමින්, ඔවුන්ගේ විනෝදාස්වාදය සරු කර ගැනීමට මෙන්ම , ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා දායක වී සංචාරක ව්‍යාපාරයේ දියුණුව ප්‍රවර්ධනය කිරීමට ද උපකාරී වෙයි .

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම