මැද සරත් සෘතු උත්සවය චීනයේ ඉතා වැදගත් සාම්ප්‍රදායික උත්සවයකි. පුරාණයේ මෙම උත්සව දිනයේ පැවති පුරසඳ වෙනුවෙන් පූජා කිරීම, පුරසඳ සුන්දරත්වය වර්ණනා කිරීම වැනි සිරිත් විරිත් අද ද දැකිය හැකිය. මැද සරත් සෘතු උත්සවයේ ප්‍රධානම තේමාව වන්නේ පවුලේ එකමුතුව ය. එබැවින් මෙම උත්සව සමයේ පවුලේ සාමාජිකයන් එක්රැස් වී පුරසඳ දෙස බලමින් මූන් කේක් රස බලමින් සරු සරත් සෘතු අස්වැන්නක් බලාපොරොත්තුවෙන් සිටීම සුපුරුදු සිරිතකි.
මෙම සුවිශේෂී සාම්ප්‍රදායික උත්සවය පිළිබඳව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අදහස් දක්වා ඇත. වේගවත් ජීවන රිද්මය සමාජය පුරා පැතිරෙමින් පවතින වත්මන් කාලයේ බොහෝ අය නිරන්තරයෙන් කාර්යබහුල ව සිටිති. ජීවිතය ජීවත් කරවීමට කෙතරම් කාර්යබහුලව සිටියත් පවුලේ උණුසුම හා හෘදයාංගම මිනිස් බැඳීම්වලින් ඈත් නොවී සිටිය යුතු බව ෂී ජින් පිං මහතා පවසා තිබේ. මැද සරත් සෘතු උත්සවය පවුලේ එකමුතුව ඉස්මතු වන උත්සවයකි. චීන ජනාධිපතිවරයා බොහෝ අවස්ථාවලදී යහපත් පවුල් ජීවිතයේ වැදගත්කම අවධාරණය කර ඇත. පවුල සෑම කෙනෙකුගේම පළමු පන්ති කාමරය බවත්, දෙමාපියන් දරුවන්ගේ පළමු ගුරුවරුන් බවත්, හෙතෙම කියා සිටී.
පවුල, කුඩාම රාජ්‍යයක් සේ ය. රාජ්‍යය, අප්‍රමාණ පවුල් එකතුවකි.සෑම පවුලක සතුට හා සංවර්ධනය එකතු වීමෙන් පමණක් රටක හා ජාතියක සතුට හා සංවර්ධනය නිර්මාණය වන්නේ යැයි ෂී ජින් පිං මහතා පෙන්වා දෙයි. රටක හා ජාතියක සමෘද්ධිය හා පුනර්ජීවනයත් මහජනතාවගේ සතුටත් සැමවිටම එකට බැඳී තිබේ. සියලු පවුල් සතුටින් සාමයෙන් දිවිපෙවෙත් ගත කරන විට චීන ජාතික පුනර්ජීවනයට අපි ඉතාම සමීප ව සිටින බව කිව හැකි යැයි චීන ජනාධිපතිවරයා පළ කළ අදහස් අප සවන් පුරා රැව්පිළිරැව් දෙයි.