බිම් මට්ටමේ ජනතාවගේ හදගැස්ම හැඳිනූ ළෙන්ගතු නායකත්වය - ෂී ජින්පිං
2022-08-20 20:24:14
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා බිම් මට්ටමේ සිට වැඩකටයුතු කිරීමේ අත්දැකීම්වලින් පොහොසත් නායකයෙක්. වසර 1975 දී, කඩඉම් විභාගයෙන් සමත් වූ තරුණ ෂී ජින්පිං සුප්‍රසිද්ධ ට්සිංහුවා විශ්වවිද්‍යාලය විසින් බඳවාගනු ලැබුවා. ඒ, වයඹදිග චීනයේ ලියං ජියා හ ග‍ම්මානයේ වසර හතක සේවා කටයුතු අවසන් කිරීමෙන් අනතුරුවයි. 

වසර 1978 දී චීන උසස් නායක මණ්ඩලය ඓතිහාසික තීරණයකට එළඹුණා. ඒ, ආර්ථික සංවර්ධනය කේන්ද්‍ර කොටගෙන ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීම සඳහායි. මේ පරිවර්තනීය යුගය අපමණ චීන තරුණයන්ගේ දෛවය වෙනස් කිරීමෙහි සමත් වුණා. උපාධිධාරීන්ගෙන් බහුතරයක් මහා නගරවල රැකියා කෙරෙහි යොමුවුණා. තව බොහෝ පිරිසක් ව්‍යාපාරික කටයුතු හෝ විදේශයන්හි වැඩිදුර අධ්‍යාපනය තෝරා ගත්තා. රටේ එවන් පසුබිමක් පවතිද්දී, 1982 වසරේ මාර්තු මාසයේ, 29 හැවිරිදි ෂී ජින්පිං තරුණයා බෙයිජිං අගනුවර සිට හෙබෙයි පළාතේ ‍ජෙන්ග්දිං කෝරළයට පැමිණ එහි චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රාදේශීය කමිටු උපලේකම් ලෙස කටයුතු කිරීමට තීරණය කළා. ඊට කලින් ඔහු බෙයිජිං නගරයේ පිහිටි චීන රා‍ජ්‍ය මණ්ඩලයේ උප අගමැතිවරයෙකුගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කර තිබුණා. තමාගේ මේ තෝරාගැනීම ගැන ඔහු විග්‍රහ කරන්නේ මෙසේ යි.

‘බෙයිජිං නගරයේ මධ්‍යම ආයතනයක, රාජ්‍ය නායකයන් සමීපයේ වැඩ කරන විට, මට දැනුම් සම්භාරයක් ලැබුණා. ලද අවබෝධයත් ඉහළයි. නමුත් ඒ තරමටම මම සමාජයෙනුත් ජනතාවගෙනුත් ඈත් වූ බවක් මට දැනුණා. ජනතාව වෙනුවෙන් ප්‍රා‍යෝගිකව සේවය කළ හැකිවන්නේ බිම් මට්ටමේ සිට වැඩකිරීමෙන් පමණයි කියායි මම විශ්වාස කරන්නේ!’

ජෙන්ග්දිං කෝරළයට පැමිණි ෂී ජින්පිං, ප්‍රාදේශීය නිලධාරීන් හා ගම් වැසියන් වගේම, ඇණ තබා හිඳගෙන ආහාර ගත්තා. ඔවුන් හා සමීපව කතාබහ කළා. ඒ වගේම, පාපැදියෙන් ගමට පැමිණ විවිධ කරුණු සම්බන්ධයෙන් ජනතා මතය විමසුවා. ඔහුගේ ප්‍රමුඛත්වයෙන්, ජෙන්ග්දිං කෝරළයේ ඉතා ධෛර්යසම්පන්න මෙන්ම ප්‍රායෝගික ප්‍රතිසංස්කරණයක් ආරම්භ කෙරුණා. එම කෝරළයට වාණිජ ආර්ථිකය, සංචාරක ව්‍යාපෘති හා කෘෂිකාර්මික විද්‍යා තාක්ෂණය මෙන්ම විවිධ ක්ෂේත්‍රවල සංවර්ධනය උදෙසා ප්‍රවීණයන් හඳුන්වා දීමත් ප්‍රවර්ධනය කළ ඔහු, එහි ජනතාවට වඩාත් පුළුල් ලෝකයක් වෙත යාමට  ප්‍රවේශ මාර්ග රැසක් විවර කර දීමත් සුවිශේෂයි.


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම