වෛද්‍ය විද්‍යා උපාධි සිහිනය සැබෑ කරගත් උත්සාහවන්ත තරුණයෙක්
2022-08-18 17:13:05
Share with:

මෑතකදී චීනයේ ටිබෙට් ස්වායත්තයේ වෙසෙන, පිංට්සෝවංජා නමැති ‍ටිබෙට් ජාතික තරුණයෙකුට, චීනයේ සුප්‍රකට පීකිං විශ්ව විද්‍යාලයෙන් බඳවා ගැනීමේ ලිපිය  ලැබුණා.  ප්‍රවේශ විභාගයෙන් ඉතා ඉහළ ලකුණු ලබාසිටි නිසා එම විශ්වවිද්‍යාලයේ වසර අටක ‘මූලික පශ්චාත් හා ආචාර්ය උපාධි ඒකාබද්ධ අධ්‍යයනය’ යන පාඨමාලාව  හැදෑරීමට ඔහුට අවස්ථාව හිමිවුණා. ඔහුගේ විෂය, වෛද්‍ය විද්‍යාවයි.

පිංට්සෝවංජා, වෛද්‍ය විද්‍යාව හැදෑරීම පාරම්පරිකව උරුම කරගත් අයෙකු බඳුයි. ඔහුගේ සීයා හා පියා, සාම්‍ප්‍රදායික ටිබෙට් වෛද්‍යවරුන් ලෙස කටයුතු කරනවා. වැඩිමහල් සොහොයුරා මේ වනවිට වෛද්‍ය විකිරණ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය සඳහා අධ්‍යාපනය ලබමින් සිටිනවා. එවන් පවුල් පසුබිමක් පැවතීම නිසා කුඩා කාලයේ සිටම පිංට්සෝවංජා තුළ වෛද්‍ය විද්‍යාව පිළිබඳව තිබුණේ කුතුහලයක් හා දැඩි කැමැත්තක්.

තමා පෙරපාසල් අවදියේ සිටම නිතර දුටු දෙයක් ඔහුට තවමත් හොඳින් මතකයි. ඒ, ඔහුගේ පියා වෛද්‍ය විද්‍යා ග්‍රන්ථ කියවන ආකාරය. පියාගේ වෛද්‍ය සේවයට දැනට වසර 30ක්. ඔහුගේ ආධ්‍යාත්මික ආදර්ශය හා අවවාදය පිංට්සෝවංජාට බොහෝ සෙයින් බලපෑවා. ඒ නිසා ඉගෙනීමටත් පොත් කියවීමටත් විශාල උනන්දුවක් දැක්වූ ඔහු ඉතා කැපවීමෙන් වැඩ කළා. 

තමා ජාතික විශ්වවිද්‍යාලීය ප්‍රවේශ විභාගයෙන් ලද ලකුණු ටිබෙට් ස්වායත්තයේ ප්‍රමුඛ ස්ථානයක පවතින බව දැන ගත් විට, පිංට්සෝ අතිශය සතුටට පත්වුණා. තමාගේ සිහිනය දෑස් මානයේ සැබෑ වූ බවක්  ඔහුට හැඟුණා. කිසිදු පැකිළීමකින් තොරව, ඔහු පීකිං විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධි පාඨමාලාව සඳහා අයදුම් කළා.

වෛද්‍ය විද්‍යාව තෝරා ගැනීම,පිංට්සෝට නම්, පවුලේ පාරම්පරික උරුමය අනාගතයට රැගෙන යාමයි. සෙසු ටිබෙට් වැසියන් වගේම ඔහුට සිය උපන්ගම කෙරෙහි ඇත්තේ අපමණ ළෙන්ගතුකමක්. තමා පුළුල් කරගන්නා නිපුණතා හා දැනුම මගින්, වඩා උසස්  වෛද්‍ය සම්පත් හා, වඩා දියුණු වෛද්‍ය තාක්ෂණයන් ගමට හඳුන්වා දීම දැන් ඔහුගේ ප්‍රබල අපේක්ෂාවක්.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම