අභියෝග මධ්‍යයේ යළි පිබිදෙන ශ්‍රී ලංකා ආර්ථිකය
2022-08-03 14:48:45
Share with:

කන්දක් නැගීමෙන් පසු පල්ලමක් හමුවනවා සේ අවාසනාවන්ත කාලයකින් පසු වාසනාවන්ත කාලයක් උදාවීම ද නිසැකය. දැනට ලංකාවේ තත්ත්වය පිළිබඳව විස්තර කිරීමට මෙම කියමන සුදුසු යැයි සිතේ. කවර දුෂ්කර කාලයක් වුවද ඊට අවසානයක් ද පවතී.

ලබන වසර වන විට, අර්බුදකාරී තත්ත්වයෙන් වැඩි පීඩා විඳි ජනතාවගේ ජීවිත අසීරුතා, උද්ධමනය පහල යාමත් සමග බොහෝ දුරට සමනය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පළ කළ අනාවැකියෙන් පෙනී යයි. වර්තමානයේ නම්, ගොවීන්ට ඉන්ධන ලැබීමෙන් වෙළඳ සංකීර්ණයට ලැබෙන එළවළු තොග ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් ඉකුත් මාසයට සාපේක්ෂව එළවළු මිල ගණන් සියයට 50කින් පමණ අඩු වී තිබේ.

‍මේ අතර ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව 2022 ජූනි මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ඉපැයීම් ඇමරිකානු ඩොලර් මිලියන 1,208.2ක් දක්වා 20% කින් වැඩි වී තිබේ. ඇඟලුම් සහ රෙදිපිළි, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ආහාර පාන සහ මුහුදු ආහාර අපනයන ඉපැයීම් ඉහළ යාම මේ වර්ධනයට දායක වී ඇති බවට රේගු දත්ත වාර්තාව විග්‍රහ කර ඇත.

ගෑස් ලබා ගැනීම සඳහා පැවති පෝලිම් අවසන් වූ බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කිරීමත් සමගම ගෑස් ප්‍රශ්නය හේතුවෙන් වසා දමා තිබූ කර්මාන්ත සහ ආපනශාලා වැඩි ප්‍රමාණයක් මේ වන විට නැවත විවෘත කර තිබේ.

ජාත්‍යන්තර වශයෙන් ගතහොත්, ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්නා සාකච්ඡා වැදගත් ප්‍රගතීන් ලබා ගෙන තිබේ. එම ආයතනය සමග සහයෝගතාවෙන් කටයුතු කිරීම පිළිබඳ වත්මන් රජයේ ක්‍රියාකලාපය හේතුවෙන්, මූල්‍ය ස්ථායිතාව ඇති කිරීම සඳහා අවශ්‍ය පළමු පියවර තැබිය හැකි වී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත.

මේ අතර මිත්‍ර රටවල් ශ්‍රී ලංකාව සමග සහයෝගතා පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. විවිධ ක්ෂේත්‍රවල චීනය සමග පවත්නා ප්‍රායෝගික සහයෝගතා හා ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුමට අදාල සාකච්ඡා යනාදී පොදු සැලකිල්ලට ලක් කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශ්වය සාකච්ඡා පවත්වා තිබේ. 

අසීරුතා මග හැර අලුත් ආරම්භයකින්  ශ්‍රී ලංකාව යළි පිබිදීම කරා ගමන් කරමින් සිටින බව විශ්වාස කිරීමට හේතු ඕනෑ තරම් තිබේ. 

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම