ඇමරිකාව සිය වගකීම් සහගත හැසිරීම් අත් නොහළ යුතුයි!
2022-07-30 16:34:11
Share with:

බෙයිජිං වේලාවෙන් 28වනදා රාත්‍රීයේ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ආරාධනාවකට අනුව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සමග දුරකථන සංවාදයක නිරත විය. ද්විපාර්ශ්වික සම්බන්ධතාව හා දෙපාර්ශ්වයේ පොදු සැලකිල්ලට ලක් කරුණු සම්බන්ධයෙන් ඔවුහූ අදහස් හුවමාරු කර ගත්හ.

වත්මන් ඇමරිකානු ජනාධිපතිවරයා පත්වීමෙන් පසු නායක දෙපළ අතර පැවති පස්වැනි සංවාදය වූ මෙය අතිශයෙන් වැදගත් එකකි. අවිනිශ්චිතබව සපිරි වර්තමාන ලෝකය හමුවේ, චීනය හා ඇමරිකාව මතභේද මනා ලෙස පාලනය කරමින් ලෝක සාමය හා සුරක්ෂිතතාව තහවුරු කිරීමේදීත් ගෝලීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේදීත් මනා මෙහෙයුම් කාර්යභාරයක් ඉටු කිරීම ජගත් ප්‍රජාවේ පොදු අපේක්ෂාවකි.

මෙවර සංවාදය තුළදී දෙපාර්ශ්වය මතභේදයන්ට ඍජුව මුහුණ දෙමින් සහයෝගතා පැවැත්වීමේ කැමැත්ත ද පළ කර ඇත. මේ අතර චීනය හා ඇමරිකාව, සාර්ව ආර්ථික ප්‍රතිපත්තිමය සම්බන්ධීකරණය පුළුල් කරමින්, ගෝලීය කර්මාන්ත දාමයේ ස්ථාවරත්වය, ගෝලීය බලශක්ති හා ආහාර ආරක්ෂාව යන දැවැන්ත ප්‍රශ්න සම්බන්ධයෙන් අදහස් හුවමාරු පවත්වා ගෙන යා යුතු බව ෂී ජින්පිං ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය. දෙපාර්ශ්වය, කලාපීය උණුසුම් තත්ත්වයන් සමනය කිරීමටත්, ලෝකය වසංගතයෙන් මිදීමටත් ආර්ථික අසීරුතා මඟහැරීමටත් සහාය විය යුතු බව ද ඔහු කීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කොට ගන්නා ජගත් පද්ධතිය හා ජාත්‍යන්තර නීතිරීති පදනම් වන ජගත් පටිපාටිය දෙරට එක්ව ආරක්ෂා කළ යුතු බව ද හෙතෙම සඳහන් කළේය. දෙරටේ හා මුළු ලෝකයේ ජනතාව‍ගේ අනාගත ඉරණම සිය සැලකිල්ලට ලක් කර සිටින දැවැන්ත රටක නායකයෙකු වශයෙන් දරන වගකීම් සහගත සංකල්පය මෙමගින් මනා ලෙස විදහා පා ඇත. එසේම ඇමරිකාව ද දැවැන්ත රටක් විසින් දැරිය යුතු වගකීම් භාර ගෙන ප්‍රායෝගික ක්‍රියාවලින් චීනය සමග එක්ව එම එකම දිශාව කරා ගමන් කළ යුතු බව පෙන්වා දිය යුතුය.

මෙවර සංවාදය තුළදී චීන ජනාධිපතිවරයා තායිවාන ප්‍රශ්නය පිළිබඳ චීන ස්ථාවරය හා මූලධර්මය විශේෂයෙන් අවධාරණය කිරීම ජගත් අවධානයට ලක් වූ කාරණයකි. ඊට හේතුව නම්, තායිවාන ප්‍රශ්නය දැනට චීන ඇමරිකානු සම්බන්ධතාවයට අදාල වැදගත්ම, සංවේදීම ප්‍රශ්නය වීමය. අනෙක, ඇමරිකාව අඛණ්ඩව සිදු කළ ප්‍රකෝපකාරී ක්‍රියා හේතුවෙන් තායිවාන සමුද්‍ර සන්ධි තත්ත්වය අවදානමට මුහුණ පා සිටීමය. කෙසේ වුවද, ‍තායිවාන ප්‍රශ්නය නිසි ලෙස පාලනය නොකළහොත්, එය චීන ඇමරිකා සම්බන්ධතාවයට විනාශකාරී බලපෑම් එල්ල කළ හැකි බව ඇමරිකාව පැහැදිලිව තේරුම් ගත යුතුය. එකම චීනය ප්‍රතිපත්තිය අනුගමනය කරන බවටත් ‘තායිවාන බෙදුම්වාදීන්’ට අනුබල නොදෙන බවටත් බහුවරක් පොරොන්දු වී  ඇති ඇමරිකාව, තම ප්‍රතිඥා ප්‍ර‍යෝගිකව  ද සනාථ කළ යුතුය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම