මානව ඉතිහාසයේ කලු පැල්ලමක් සටහන් කරමින් න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීමට ජපානය සූදානම්
2022-07-23 19:51:30
Share with:

ජපාන පරමාණුක බලශක්ති නියාමන කොමිසම ඊයේ (22) රැස්වීමක් කැඳවමින් න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීම නිල වශයෙන් සම්මත කර ඇත. ඒ අනුව ටෝකියෝ විදුලිබල සමාගම ඉදිරිපත් කළ ෆුකුෂිමා න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීමේ සැලැස්ම සම්මත වී තිබේ.

 මානව ඉතිහාසයේ මීට පෙර න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීම පිළිබඳ කිසිදු සටහනක් හමුනොවේ. දැනට ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ මෙට්‍රික් ටොන් ලක්ෂ 12.5ක පමණ න්‍යෂ්ටික අපජලය පවතී. එම අපජලය නිසියාකාරයෙන් පිරිපහදු කර මුහුදට මුදාහරින බව ජපානය පැවසුව ද, එහි අඩංගු විකිරණශීලි ද්‍රව්‍ය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට නොහැකි බව විද්‍යා පර්යේෂකයන් පෙන්වා දී තිබේ.න්‍යෂ්ටික අපජලය මුහුදට එක්වීමෙන් පසු දින 57ක් ඇතුළත එම විකිරණශීලි ද්‍රව්‍ය පැසිෆික් සාගරයේ 50%කට වැඩි ප්‍රදේශවල ව්‍යාප්ත වනු ඇත. වසර 10කට පසු එම විකිරණශීලි ද්‍රව්‍ය ගෝලීය මුහුදු ජාලයට බලපානු ඇතැයි ද විද්‍යා පර්යේෂකයන් ඇස්තමේන්තු කර ඇත.

ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ අපජලය මුහුදට දැමීමට ජපාන රජය තීරණය කළේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ය. එතැන් සිට මේ දක්වා එම තීරණයට ජගත් ප්‍රජාව මෙන් ම ජපාන ජනතාව දැඩි ලෙස විරුද්ධව සිටින්නේ එබැවිනි. එහෙත් ජපාන රජය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් තමන්ට එල්ල වන විරෝධතා නොතකා කටයුතු කරන බව පැහැදිලි ය. මේ වන විට ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සිට පැසිෆික් සාගරය දෙසට කිලෝමීටරයක් පමණ දිග භූගත නල මාර්ගයක් ඉදි කර අවසන් ය. 2023 වසරේ වසන්ත කාලයේ දී එම න්‍යෂ්ටික බලාගාරයේ අපජලය මුහුදට මුදහැරීමට ජපාන රජය සූදානමින් සිටින බව ජපාන මාධ්‍ය වාර්තා කර ඇත.

න්‍යෂ්ටික අපජලය හැසිරවීම බැරෑරුම් කාර්යයකි. ජපාන රජයේ මෙවන් වගකීම් විරහිත ක්‍රියාමාර්ගයක් හමුවේ, එක්සත් ජාතීන්ගේ සාගර නීති සම්මුතිය ප්‍රකාරව ජපානයට එරෙහිව කටයුතු කිරීමේ අයිතිය ජගත් ප්‍රජාව සතුවන බව කිව යුතුම ය.

 

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම