අන්‍යෝන්‍ය පොදු යහපත සලසා ගනිමින් චීනය අනාගතය කරා යන්නේ ලෝකය සමගයි
2022-06-17 12:56:00
Share with:

ලොව ඉදිකිරීම් තාක්ෂණය අතින් විශිෂ්ට කුසලතාවකට උරුමකම් කියන දේශය චීනයයි. ඔවුන්ගේ එම සුවිශේෂ හැකියාවේ ප්‍රබල පෞරාණික සංකේතය වන චීන මහා ප්‍රාකාරය වර්තමානයේත් අභිමානවත්ව විරාජමාන වෙයි. චීනය ලෝකය හා පවත්වන, සහයෝගිතාව පදනම් කරගත් සම්බන්ධතාවලදීත් මේ අතීත ශක්‍යතා බෙදාගැනීම කැපීපෙනෙන ලක්ෂණයක් බව ප්‍රවීණ ව්‍යවසායක, "ඇගෙල්ටා කන්ස්ට්‍රක්ෂන්" ඉදිකිරීම් සමාගමේ සභාපති ඉංජිනේරු සුරංග මනෝහර මහතා කියාසිටී. එනම්, වෙනත් රටවල් සමග පොදු යහපත හා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ උදෙසා දියත් කරන ව්‍යාපෘතිවල ඉදිකිරීම් අදියරේදී චීනය, තම ශිල්පීය නිපුණතාව හා ඉංජිනේරු තාක්ෂණික සේවා ඊට ලබාදීමට නොපැකිළ ඉදිරිපත් වෙයි. "එක් තීරයක් එක් මාවතක්" වැඩසටහනේ මෙන්ම ඉන් බැහැර ව්‍යාපෘතිවල නිදර්ශන රැසක් මේ සඳහා ගෙනහැර පෑ හැකිය.

චීනය තම දේශීය පැවැත්ම මෙන්ම අන්තර් හුවමාරු සහිත මෙම විදේශීය ප්‍රතිපත්තිය සකසා ගන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ දිගුකාලීන අරමුණු හා අනුකූලවයි. ඔවුන් සියවසක් තිස්සේ ඉදිරියට රැගෙන ආ සංවර්ධන අරගලය චීන කොමියුනිස්ට් පක්ෂ නායකයන්ගේ පුළුල් ආකල්ප අනුව වැඩී වර්ධනය වීම ද විශේෂත්වයකි. වත්මන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව සංකල්පය මෙහිදී විමසිය යුතුය. හෙතෙම සෑමවිටම අවධාරණය කරන්නේ තමාගේ අභිවෘද්ධිය  පමණක් සාක්ෂාත් කරගන්නා අනාගතයක පැවැත්ම තිරසර භාවයෙන් තොර වනු ඇති බවයි. සෑමදෙනාටම ප්‍රතිලාභ හිමිවන බහුපාර්ශ්විකත්වය ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාව ෂී ජින් පිං මහතා නිරතුරුව පෙන්වාදෙයි. වත්මන් ලෝකය පෙර නොවූ විරූ අභියෝග රැසකට මුහුණ පා සිටින මෙවන් යුගයක එක්සත්ව ඒවාට විසඳුම් සෙවීම වඩා සාර්ථක වන බව ඔහුගේ ආකල්පය වේ. කොරොනා වසංගතය ගෝලීය  වශයෙන් පැතිර ගිය අවස්ථාවේ ද චීනය ක්‍රියා කළේ මේ දැක්ම පෙරදැරිවයි. එසේම චීන ජනපතිවරයා, තම රට සතු අභ්‍යවකාශ මධ්‍යස්ථානය ලොව වෙනත් රටවල පර්යේෂකයන්ට ද විවෘත වන බව මෑතකදී ප්‍රකාශ කර තිබිණ. ලෝකයට මෙන්ම අභ්‍යවකාශයට ද "සුපිරි බලවතුන්" අවශ්‍ය නොවන බව ඔහු එහිදී ලොවට ප්‍රකාශ කළේය. කලාපීය බලවතෙකු ලෙස තම වගකීම ඉටුකරන චීනය තම ක්‍රියාකාරිත්වයේ දී සුහද අන්තර් හුවමාරු සඳහා නිර්මාණය කරන අවස්ථා ප්‍රශංසනීය වේ. චීන කොමියුනිස්ට් පක්ෂය තම දෙවන සියවස් ඉලක්ක කරා ගමන් ගන්නේ ද තනිව නොවේ. අන්‍යෝන්‍ය පොදු යහපත සලසා ගනිමින් ලෝකය හා එක්ව ඉදිරියට යාම ඔවුන්ගේ අභිප්‍රාය බව, ප්‍රවීණ ව්‍යවසායක, ඉංජිනේරු සුරංග මනෝහර  මහතා කියාසිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම