ගාලුමුවදොර ප්‍රහාරයට සම්බන්ධවූවන් සොයා වහා විමර්ශනයක් කරන ලෙස, නීතිපති පොලිස්පතිට දන්වයි
2022-05-11 16:32:15
Share with:

ජනතාවගේ ව්‍යවස්ථානුකූල අයිතීන් උල්ලංඝනය කරමින් සාමාකාමී විරෝධතාවට නීතිවිරෝධී අයුරින් කඩා වැදීමේ සිද්ධියට නායකත්වය දුන් හා සම්බන්ධ වූ සියලු දෙනාට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීම සඳහා වහාම පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස, නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා පොලිස්පතිවරයාට ඊයේ (10) දැනුම් දී තිබේ.‍

නීතිපතිවරයා පෙන්වා දී ඇත්තේ, කොළඹ නගර සීමාව තුළ ඇති වූ මේ ප්‍රචණ්ඩකාරී සිද්ධිය මුල් කරගෙන රට පුරා බරපතල තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති සාමකාමීව රැස්වීම, අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය යොදා ගනිමින් ජනතාව සති කිහිපයක සිට විරෝධතාව පවත්වාගෙන ගිය බව නීතිපතිවරයා පෙන්වා දෙයි.

සාමකාමීව රැස්වී සිදුකළ මෙම විරෝධතාවට 09 වැනිදා විශාල පිරිසක් කඩා වැදී සිදුකළ ක්‍රියාව රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් හා අපරාධමය ක්‍රියාවක් බවද නීතිපතිවරයා පෙන්වා දි තිබේ.නීතිපතිවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ, මීට අදාළ පරීක්ෂණ, ප්‍රමුඛතාව ලබා දී වහාම සිදුකරන ලෙසයි.

මේ අතර, ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම