ශ්‍රී ලංකා ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය උදෙසා චීනයේ සහාය ලබාදෙන බවට චීන අගමැති සහතික වෙයි
2022-04-24 18:25:43
Share with:

පසුගිය 22 වැනිදා චීන අගමැති ලී ක ච්‍යන් මහතා ආරාධනාවකට අනුව ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ දුරකථන සංවාදයක නිරත විය.

චීනය සහ ශ්‍රී ලංකාව ගැඹුරු සාම්ප්‍රදායික මිත්‍රත්වයක් පවතින රටවල් වන අතරම එකිනෙකාගේ උපායමාර්ගික හවුල්කරුවන් බව ලී ක ච්‍යන් මහතා එහිදී පැවසීය. දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කිරීම, සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සහාය ශක්තිමත් කිරීම, විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව ගැඹුරු කිරීම සහ ද්විපාර්ශ්වික සබඳතාවල  හිතකර සහ ස්ථාවර වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටී.

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පසුගිය21 වැනිදා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී චීන තානාපති Qizhenhong මහතා  හමුවිය.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සහ ආර්ථිකයට අහිතකර ලෙස බලපා ඇති බලශක්ති හිඟය පිළිබඳව ද විදේශ කටයුතු අමාත්‍යවරයා තානාපතිවරයා දැනුම්වත් කළේ ය. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙන්ම මූල්‍ය ආධාර සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙමින් පවතින සාකච්ඡා  ඇතුළුව, වත්මන් තත්ත්වය කඩිනමින් මැඩපැවැත්වීම සඳහා  ශ්‍රී ලංකා රජය  ගත් පියවර පිළිබඳව ද අමාත්‍යවරයා, තානාපතිවරයා දැනුම්වත් කළේය. තවද එතුමා විශේෂයෙන්ම මෙම දුෂ්කර වාතාවරණය හමුවේ මූල්‍ය ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් චීනයේ වැඩිදුර සහය ඉල්ලා සිටියේ ය.

ශ්‍රී ලංකාවේ උද්ගත වෙමින් පවතින තත්ත්වය කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව චීන තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය. චීන රජයේ සෘජු සහයෝගය සහ චීන රතු කුරුස සංවිධානයේ සහයෝගය ඇතුළුව හැකි සෑම ආකාරයකින්ම චීන රජය ශ්‍රී ලංකාව වෙත සිය සහය ලබා දෙන බවට තානාපති Qizhenhong මහතා මෙහිදී සහතික විය.

චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනය සහල් ටොන් 5000ක් (මින් පෙර ප්‍රකාශයට පත් කරන ලද ටොන් 2000ක ප්‍රමාණය ද සමඟ), ඖෂධ, නිෂ්පාදන ද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළුව RMB මිලියන 200ක හදිසි මානුෂීය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දීමට පොරොන්දු වී ඇත. තවද, යුනාන් පළාත ශ්‍රී ලංකාවට RMB මිලියන 1.5 ක ආහාර පැකේජ පරිත්‍යාග කරන බව ද නිවේදනය කර තිබේ.

දීර්ඝ කාලයක් මුළුල්ලේ චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින්නේ ප්‍රබල ද්විපාර්ශ්වික සබැඳියාවකි. ශ්‍රී ලංකාව වර්තමානයේ සිටින දුෂ්කර තත්ත්වයෙන් මුදාගැනීම සඳහා චීනය නොමසුරු සහයෝගය ලබා දී සහෝදරත්වයේ දෑත් යළිත් නිසැකවම දිගුකරනු ඇත.

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම