බලශක්ති, සංචාරක, විදේශ රැකියා සහ තාක්ෂණය ඇතුළු ක්‍ෂේත්‍ර කිහිපයක ප්‍රවර්ධනයට රටවල් 3 ක සහාය
2022-04-01 18:19:27
Share with:

බලශක්ති, සංචාරක, විදේශ රැකියා සහ තාක්ෂණය ඇතුළු ක්‍ෂේත්‍ර කිහිපයක ප්‍රවර්ධනයට රටවල් 3 ක සහාය

බලශක්ති, සංචාරක, විදේශ රැකියා සහ තාක්ෂණය ඇතුළු ක්‍ෂේත්‍ර කිහිපයක ප්‍රවර්ධනයට බ්‍රිතාන්‍යය, දකුණු කොරියාව සහ ඊජිප්තුව යන රටවල සහාය පළවෙයි. ජනාධිපති කාර්යාලයේ පැවති හමුවීම්වලදී එම රටවල නියෝජිතයෝ මේ බව පැවසුහ.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සාමි මන්ත්‍රී මණ්ඩල සභික මයිකල් නෙස්බි සාමිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවු අවස්ථාවේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කෙරෙහි රජය දක්වන උනන්දුව පැසසුමට ලක්කළේය. සුර්ය සහ සෙසු පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මගින් විදුලි උත්පාදනයට බ්‍රිතාන්‍යයේ සහාය ලබාදීමට ක්‍රියා කරන බව නෙස්බි සාමිවරයා පැවසීය.

දකුණු කොරියාවේ රැකියා අවස්ථා වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට ලබාදීම කෙරෙහි සිය රජයේ අවධානය යොමු කරන බව එරට රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍ය කෝ යුන් චෝල් මහතා ජනාධිපතිවරයා හමුවේ පැවසීය. ශ්‍රී ලංකාවේ ආයෝජනයට දකුණු කොරියානු ආයෝජකයින් දිරිගැන්වීමටත් කොරියාවේ නවීන තාක්ෂණය මෙරටට හඳුන්වාදීමටත් හැකි උපරිම සහාය ලබාදෙන බවද ඔහු කියා සිටියේය.

විශේෂ සංචාරක කලාප ඇති කිරීමෙන් ඊජිප්තු සංචාරකයින්ගේ විශේෂ අවධානය මෙරටට ලබා ගත හැකි බව ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති මගෙට් මොස්ලේ මහතා ජනාධිපතිවරයා සමග පවසා තිබේ.

මෙම සහායන් පිළිබඳව රටවල් තුනේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන්ට ජනාධිපතිවරයා තම අවංක කෘතවේදීත්වය පළකර ඇත.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම