කොවිඩ් මර්දන එන්නත්කරණය සඳහා චීනයේ දායකත්වය
2021-07-12 10:39:39
Share with:

සිනොෆාම් කොවිඩ් මර්දන එන්නත මඟින් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට සුවිශේෂී රැකවරණයක් ලැබෙන බවට ශ්‍රී ලංකාව දේශීය ව සිදුකළ පර්යේෂණයකින් අනාවරණය කර ගෙන තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කර සිටියේ, මේ සතියේ බදාදා හෝ බ්‍රහස්පතින්දා වන විට පරීක්ෂණයට අදාළ වාර්තා එළිදැක්විය හැකි බවයි.

ඒ අනුව සිනොෆාම් එන්නත ලබාගත් අයට ඩෙල්ටා ප්‍රභේදය සඳහා විශේෂ රැකවරණයක් ලැබී ඇතැයි පැවසීම සතුටට කරුණක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

චීනයෙන් ලැබුණු එන්නත් මාත්‍රා ලක්ෂ විස්ස සඳුදා සිටම එන්නත් කරන වැඩපිළිවෙළ සඳහා යොදා ගැනීමට කටයුතු කරන බවත් මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

පසුගිය මැයි 8 වැනිදා සිට, දිවයින පුරා චීනයේ සිනොෆාම් එන්නත ලබාදීම ආරම්භ කෙරුණා. වරකදී දිවයිනට රැගෙන ආ වැඩිම එන්නත් තොගය මෙන්ම අඛණ්ඩ සැපයුමක් සහතික කෙරෙන සිනොෆාම් එන්නත් ලක්ෂ 20 දිස්ත්‍රික්ක 12කට බෙදාහැරීම ආරම්භ කර තිබෙනවා.

සිනොෆාම් එන්නත ලබාදීමේ කටයුතු ස්ථිර මෙන්ම විධිමත් ලෙස දිවයින පුරා බෙදාහැරීම දක්නට ලැබෙනවා. මේ දක්වා, සිනොෆාම් එන්නත ලබාගත් අයගෙන් අයහපත් සෞඛ්‍ය තත්ත්වයන් වාර්තාවී නොමැති අතර ගර්භනී කාන්තාවන්ට ද සිනොෆාම් ලබා දීම සඳහා කටයුතු කර තිබෙනවා. කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීම, කොරොනා වසංගතය මැඩපැවැත්වීමේ ප්‍රධාන උපක්‍රමයක් ලෙසට හැඳින්වෙනවා. ශ්‍රී ලංකාවේ සත්‍ය සහෝදරයෙක් ලෙසට පෙනී සිටින චීනය, දිවයින පුරා එන්නත්කරණය ආවරණය කිරීමේ වැඩපිළිවෙල සඳහා හැකි තරම් උදව් ලබා දීමට කැමැත්තෙන් පසු වන බව සනාථ කර තිබෙනවා. ශ්‍රී ලංකා රජයේ මෙන්ම ජනතාව‍ගේ අවශ්‍යතාවට අනුව, වසංගතය මර්දනය කිරීම සඳහා සහයෝගතා තවදුරටත් ක්‍රියාත්මක කිරීමට චීනය බලාපොරොත්තුවෙන් සිටිනවා.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන