කොළඹ වරාය නගරය ‘හයි-ෆ්ලෝ ඔක්සිජන් තෙරපි’යන්ත්‍ර තොගයක් පරිත්‍යාග කරයි
2021-06-20 15:35:31
Share with:

කොළඹ වරාය නගරය ‘හයි-ෆ්ලෝ ඔක්සිජන් තෙරපි’යන්ත්‍ර තොගයක් පරිත්‍යාග කරයි_fororder_Port-City-DO7A9702

ශ්‍රී ලංකාව තුළ කොරොනා වසංගතයේ තුන් වන රැල්ලක් පැතිරයාම හේතුවෙන් ආසාදිතයන් වාර්තා වීම දිනෙන් දින ඉහළ යමින් පවතින තත්ත්වයක් හමුවේ, එය මර්දනය කිරීමේ ජාතික ක්‍රියාන්විතයට දායක වීමක් ලෙස 'හයි-ෆ්ලෝ ඔක්සිජන් තෙරපි' යන්ත්‍ර තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීමට කොළඹ වරාය නගරය කටයුතු කළේ ය.

මෙම යන්ත්‍ර තොගය පසුගියදා  සීමා සහිත චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ වරාය නගර කොළඹ ශාඛාවේ කළමනාකාර අධ්‍යක්ෂ Jiang Houliang මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත භාරදෙන ලදි. පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවාවට මෙවැනි උපකරණ සඳහා ඇති ඉහළ අවශ්‍යතාව සඳහන් කරමින් මෙම පරිත්‍යාගය ඉතා අගය කරන බව සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

රට තුළ කොරොනා වසංගත ව්‍යාප්තිය ආරම්භ වීමේ සිටම එය පාලනය කිරීම සඳහා කොළඹ වරාය නගරය සෞඛ්‍ය බලධාරීන් වෙත අඛණ්ඩව සහයෝගය ලබා දුන් අතර, පසුගිය මාස කිහිපය තුළද  මෙවැනි අවශ්‍යතාවයන් සඳහා විවිධ පරිත්‍යාගයන් කිහිපයක්ම සිදුකර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය එස්. එච්. මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, කොළඹ වරාය නගර ව්‍යපෘති සමාගමේ අලෙවි කළමනාකරු Cui Yang, එහි මහජන සම්බන්ධතා ප්‍රධානී කස්සප සෙනරත් සහ මූල්‍ය විශ්ලේෂණ කළමනාකාරිනී නබීහා මොහොමඩ් යන මහත්ම මහත්මීහුද මෙම යන්ත්‍ර තොගය භාර දීමේ උත්සවයට එක්වූහ.

පසුගිය වසරේ වසංගතය පැතිර ගිය දා සිට මේ දක්වා කොළඹ වරාය ව්‍යාපෘති සමාගම ශ්‍රී ලංකා රජය, රෝහල්, තොග වෙළෙඳපොළ සහ අනෙකුත් දෙපාර්තමේන්තු හා සංවිධානවලට මුඛ ආවරණ, අත්වැසුම්, ඇස් කණ්ණාඩි, ආරක්ෂිත ඇඳුම් සහ වෙනත් ආරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාග කර තිබේ. මෙම පරිත්‍යාග ක්‍රියාමාර්ග එම සමාගමේ සමාජ වගකීම නැවත වරක් ඉස්මතු කරයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන