චීනයේ සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද වෙනුවෙන් චීන හා ඇමරිකානු ජනාධිපතිවරුන් ගෙන් සුබ පැතුම්
2021-02-11 12:13:18
Share with:

චීනයේ සාම්ප්‍රදායික අලුත් අවුරුද්දට පෙර දිනය වන අද (11) චීන ජනාධිපතිවරයා හා ඇමරිකානු ජනාධිපතිවරයා දුරකථන සංවාදයක නිරත වූහ. එම අවස්ථාවේදී චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද වෙනුවෙන් නායක දෙපල සුබ පැතුම් පිරිනැමූහ. ද්විපාර්ශ්වික සබඳතාව මෙන්ම ජාත්‍යන්තර හා කලාපීය වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් ඔවුහූ අදහස් හුවමාරු කර ගත්හ.

චීන ජනතාවට අලුත් අවුරුදු සුබ පැතුම් පිරිනැමූ ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා අලුත් අවුරුද්ද ප්‍රීතිමත් වනු ඇති අතර සමෘද්ධිමත් සංවර්ධනයක් ලැබේවා යැයි ද ප්‍රාර්ථනා කළේ ය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ජෝ බයිඩන් මහතා ඇමරිකානු ජනාධිපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් යළි වරක් සුබ පැතුම් පිරිනැමී ය. චීනය හා ඇමරිකාව යන දෙ‍රටේ ජනතාවට චීන නව වසරේ සුබ පැතුම් පිරිනැමූ ෂී ජින් පිං මහතා ගවයාගේ වසර වාසනාවන්ත වේවා යැයි ද ප්‍රාර්ථනා කළේ ය.

ගෙවී ගිය අඩ සියවසක කාලයේදී ජාත්‍යන්තර සබඳතාවන්හී සිදුවූ වැදගත් ම සිද්ධිය, චීන ඇමරිකා සබඳතාව පුනරුත්ථාපනය කිරීම මෙන්ම සංවර්ධනය කිරීම බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේ ය. දෙරටේ සබඳතාවන් හිදී ආකුලත්ව හා අසීරුතා මතු වුව ද සමස්තයක් වශයෙන් ඉදිරියට යාමට හැකි වූ අතර දැවැන්ත ජයග්‍රහණයන් මාලාවක් අත්කර ගෙන ඇතැයි ද ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේ ය. එමගින් දෙරටේ ජනතාවට වාසි සහගත බවත් ලෝක සාමය, ස්ථාවරත්වය හා සමෘද්ධිය ප්‍රවර්ධනයට හේතුවී ඇති බවත් හෙතෙම පැවසීය. සුහද බව දෙපාර්ශ්වයට ම ප්‍රයෝජනයක් වන අතර සටන්කාරී බව දෙපාර්ශ්වයට ම හානියක් බැවින් සහයෝගිතාවෙන් ක්‍රියා කිරීම දෙ රටට ඇති එකම නිවැරදි තේරීම බවත් චීන ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

චීනය දීර්ඝ ඉතිහාසයක් මෙන්ම විශිෂ්ට ශිෂ්ටාචාරයක් හිමි රටක් බවත් චීන ජනතාව විශිෂ්ට ජනතාවක් බවත් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සඳහන් කළේ ය. ගැටුම් වළක්වා බොහෝ ක්ෂේත්‍ර වල සහයෝගිතා පැවැත්විය යුතු බව හෙතෙම පෙන්වා දුන්නේ ය. අන්‍යෝන්‍ය වශයෙන් ගෞරවය දක්වා අවංක මෙන්ම සංවර්ධනාත්මක සංවාදයකට පිවිසිය යුතු බව ද බයිඩන් මහතා පැවසීය. අවබෝධය දියුණු කර ගනිමින් වැරදි තීන්දු ගැනීම වැළැක්විය යුතු බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන