සියලු රජයේ විශ්‍රාමිකයන්ට රුපියල් තුන්දහසක විශේෂ අන්තර්කාලීන දීමනාවක් ගෙවීමට රජය ගෙන ඇති තීරණය අකුළා ගන්නා ලෙස මැතිවරණ කොමිසම සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට කර ඇති දැනුම් දීම නොතකා එම දීමනාව ගෙවීමට රජය තීරණය කර තිබේ.
පසුගිය 24 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල විශේෂ රැස්වීමේදී සියලු රජයේ විශ්‍රාමිකයන්ට දැනට ගෙවන රුපියල් 2500ක දීමනාවට අමතරව රුපියල් තුන්දහසක් එක් කර එළඹෙන සැප්තැම්බර් මස සිට රුපියල් 5500ක අන්තර්කාලීන දීමනාවක් ගෙවීමට අනුමැතිය හිමි විය.
මෙම දීමනාව ගෙවීමට රජය තීරණය කරනු ලැබුවේ රාජ්‍ය වැටුප් විෂමතා පිළිබඳ සොයා බැලීම සඳහා පත්කෙරුණු විශේෂඥ කමිටුවේ සමාලෝචනය පරිදිය. මැතිවරණය අවසන් වනතුරු එම දීමනාව නොගෙවන ලෙස මැතිවරණ කොමිසම මඟින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ඊයේ දැනුම් දී තිබිණ.
එම වැඩසටහන් අනීතික නොවන බැවින් එය නතර කිරීමට රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දීමට හැකියාවක් නැති බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මැතිවරණ කොමිසම වෙත දන්වා ඇති බව වාර්තා වේ.