චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය ආරම්භ වෙයි
2022-10-16 10:12:48
Share with:


චීනයේ පාලක පක්ෂය වන චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය අද (16) පෙරවරු 10ට බෙයිජිං නගරයේ පිහිටි මහජන මහ ශාලාවේ දී ආරම්භ විය. 2300කට වැඩි නියෝජිත පිරිස හා විශේෂ ආරාධිතයෝ ඊට එක්ව සිටිති. චීන කොමියුනිස්ට් පක්ෂ‍ නොවන පුද්ගලයෝ ද ඊ‍ට සහභාගී වෙමින් සිටිති. අද (16) සිට 22 වැනිදා දක්වා කොංග්‍රසය පැවැත්වේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන මධ්‍යම කාරක සභාවේ වාර්තාවට සවන් දෙමින් පරීක්ෂා කිරීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන විනය පරීක්ෂාව පිළිබඳ මධ්‍යම කොමිසමේ කාර්ය වාර්තාව පරීක්ෂා කිරීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පරීක්ෂා කර සම්මත කිරීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ නව මධ්‍යම කාරක සභාව හා නව විනය පරීක්ෂාව පිළිබඳ මධ්‍යම කොමිසම ඡන්ද විමසීමෙන් තෝරා ගැනීම මෙවර කොංග්‍රසය තුළදී සිදු කිරීමට නියමිතව තිබේ.

වසර 101ක ඉතිහාසයක් සහිත චීන කොමියුනිස්ට් පක්ෂය, චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවූ දා සිට මේ දක්වා වසර 73ක් චීනය පාලනය කර ඇත. එම පක්ෂයේ ජාතික කොංග්‍රසය හා ඉන් තේරී පත්වන මධ්‍යම කාරක සභාව, චීන කොමියුනිස්ට් පක්ෂයේ උත්තරීතර නායක යාන්ත්‍රණය යි. චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාතික කොංග්‍රසය වසර පහකට වරක් පැවැත්වේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාව වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය වෙත වාර්තාවක් ඉදිරිපත් කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික කොංග්‍රසය පැවැත්වීමෙන් පසු වසර 10 ගතවී තිබේ. එම වසර 10 තුළ චීන කොමියුනිස්ට් පක්ෂය හා ජනතාවට වැදගත් යථාර්ථවාදී හා ගැඹුරු ඓතිහාසික අර්ථය සහිත ප්‍රධාන කාර්යයන් තුනක් සිදුව ඇති බව ෂී ජින්පිං මහතා සඳහන් කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂය ගොඩනැගීමේ 100 වැනි සංවත්සරය පිළිගැනීම, චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදය නව යුගයට ප්‍රවේශ වීම, අන්ත දරිද්‍රතාව පිටුදැක සම්පූර්ණයෙන්ම සුවපහසු සමාජයක් බිහි කිරීම මගින් පළමු වන සියවස් ඉලක්කය ඉටු කිරීම එම ප්‍රධාන කාර්යයන් තුනයි. එය චීන කොමියුනිස්ට් පක්ෂයේ හා චීන ජනතාවගේ සාමූහික උත්සාහයෙන් අත්කර ගත් ඓතිහාසික ජයග්‍රහණයක් මෙන්ම චීන ජාතික වර්ධන ඉතිහාසයේ දීප්තිමත් අවස්ථාවකි. එමෙන්ම එය ලොවට ගැඹුරු බලපෑමක් සහිත ඓතිහාසික ජයග්‍රහණයක් බව ද  ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.

ගෙවී ගිය දශකය තුළ චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම, චීන යුවාන් ට්‍රිලියන 54ක සිට 114ක් දක්වා වැඩි විය. චීන ආර්ථික ධාරිතාව ලෝක ආර්ථික ධාරිතාවෙන් ගන්නා අනුපාතය සියයට 7.2කින් වැඩි වී සියයට 18.5ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අතින් චීනය ලොව දෙවැනි ස්ථානයේ අඛණ්ඩව රැඳී සිටීම ද විශේෂත්වයකි.

චීනය 140කට වැඩි රටවල් හා ප්‍රදේශවල ප්‍රධාන වෙළඳ හවුල්කරුවෙකු බවට පත්ව ඇත. සමස්ත භාණ්ඩ වෙළඳ වටිනාකම ද ලොව පළමු ස්ථානයේ පසුවන චීනය, ආකර්ෂණය කළ විදේශ ආයෝජන හා විදේශ රටවලට සිදුකළ ආයෝජන ක්ෂේත්‍රවල ද, ප්‍රමුඛ ස්ථානයක පසු වේ. වඩාත් පුළුල් පරාසයකින් යුතු, වඩාත් පුළුල් ක්ෂේත්‍රවලින් ආවරණය වන, වඩාත් ගැඹුරු විවෘතභාවයක් චීනයේ ගොඩනැගී ඇතැයි ද ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය.

 

චීනය කේන්ද්‍රීය තාක්ෂණ රැසක ජයග්‍රහණ අත්පත් කර ගනිමින් උපාය මාර්ගිකව නැගී එන කර්මාන්ත යහපත් ලෙස වර්ධනය කර ඇති බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා සඳහන් කරයි.

ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානා නිකුත් කිරීම, චන්ද්‍රයා සහ අඟහරු ගවේෂණය, ගැඹුරු මුහුදේ සහ ගැඹුරු භූමි අභ්‍යන්තර ගවේෂණය, සුපිරි පරිගණක තාක්ෂණය, චන්ද්‍රිකා යාත්‍රාකරණය, ක්වොන්ටම් තොරතුරු තාක්ෂණය, න්‍යෂ්ටික විදුලි තාක්ෂණය, විශාල ගුවන් යානා නිෂ්පාදනය මෙන්ම වෛද්‍ය හා ඖෂධ අංශය වැනි ක්ෂේත්‍රවල වැදගත් ජයග්‍රහණ ලබා ඇත. එමගින් චීනය නිර්මාණශීලි රටවල් අතරට ප්‍රවේශ වී ති‍බේ.

මේ අතර ගෙවී ගිය වසර 10 තුළ පිරිසිඳු ජල‍ය හා හරිත වර්ණ කඳුකර සම්පත් රත්‍රං සේ වටිනා යන සංකල්පය අනුගමනය කරමින් ජෛව ශිෂ්ටාචාර පද්ධතිය වඩාත් යහපත් කිරීමට හැකිව තිබේ. ජෛව පරිසරයේ ඓතිහාසික, සංධිස්ථානගත වෙනසක් රට තුළ සිදුව ඇත. චීනයේ අහස වඩාත් නිල්වන් පැහැයෙන් මෙන් කඳුකර වඩාත් හරිත වර්ණයෙන් දිස්වන අතර, ජල සම්පත් වඩාත් පිරිසිදු වී ඇති බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ කේන්ද්‍රීය කාර්යභාරය ෂී ජින්පිං මහතා විස්තර කරයි. චීන කොමියුනිස්ට් පක්ෂය චීනයේ ඒ ඒ ජාතීන්ට අයත් ජනතාව එක්සත් කර නායකත්වය ලබාදී, සමාජවාදී නවීකරණ බලවත් රාජ්‍යයක් අංග සම්පූර්ණයෙන් ගොඩනගමින් දෙවන සියවස් ඉලක්කය සම්පූර්ණ කිරීම, චීනයට ආවේණික නවීකරණයෙන් චීන ජාතියේ දීප්තිමත් පුනර්ජීවනය පූර්ණ ලෙස ඉදිරියට ගෙන යාම අද සිට චීන කොමියුනිස්ට් පක්ෂයේ කේන්ද්‍රීය කාර්යභාරය බව ෂී ජින්පිං මහතා පැවසීය.

2020 වසරේ සිට 2035 වසර දක්වා සමාජවාදී නවීකරණය මූලික ව සාක්ෂාත් කෙරෙනු ඇත. 2035 වසරේ සිට මේ සියවසේ මධ්‍යම කාලය වන විට චීනය සමෘද්ධිමත්, ප්‍රජාතාන්ත්‍රික, ශිෂ්ටාචාරාත්මක, සමගි සම්පන්න, අලංකාර සමාජවාදී නවීකරණ බලවත් රටක් බවට පත් වනු ඇති බවද ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය. ඉදිරි වසර 5ක කාලය චීනය සමාජවාදී නවීන රටක් ලෙසට අංග සම්පූර්ණයෙන් ගොඩනැගීම ආරම්භවීමේ වැදගත් කාලයක් බව ද ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය.

 

නිපුණතාවන් මත රට ශක්තිමත් කිරීමේ උපාය මාර්ගය චීනය ගැඹුරින් ක්‍රියාත්මක කරන බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය. ශ්‍රමය, දැනුම, කුසලතා සහ නිර්මාණශීලීත්වයට ගරු කිරීම ස්ථිරව අනුගමනය කරමින් නිපුණතාවන් සම්බන්ධ සමස්ත සැකැස්ම පූර්ණ කර පක්ෂයේ සහ ජනතාවගේ මෙහෙවර සඳහා ඒ ඒ  ක්ෂේත්‍රවලින් කැපී පෙනෙන නිපුණතාවන් එක්රැස් කර ගන්නා බව හෙතෙම පැවසීය.

චීනයට ආවේණික නවීකරණය චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ ඇති සමාජවාදී නවීකරණයයි. එය, විවිධ රටවල නවීකරණයේ පොදු ලක්ෂණවලින් පමණක් නොව රටේ තත්ත්වයට ගැලපෙන අනන්‍යතාවලින් ද සමන්විත වන බව ෂී ජින්පිං මහතා විස්තර කළේය. චීනයට ආවේණික නවීකරණය යනු විශාල පරිමාණ ජනගහණය සඳහා නවීකරණයයි.එය සමස්ත චීන ජනතාව එක්ව සමෘද්ධිය සාක්ෂාත් කිරීමේ නවීකරණයක්, භෞතික ශිෂ්ටාචාරය හා ආධ්‍යාත්මික ශිෂ්ටාචාරයෙන් සුසැදි නවීකරණයක්, මිනිසා සහ සොබාදහමේ සුසංගතභාවයෙන් සහජීවනයෙන් මෙන්ම සාමකාමී සංවර්ධන මාවතේ ඉදිරියට ගමන් කරන නවීකරණයක් බවද ෂී ජින්පිං මහතා පැවසීය.

පරිසර දූෂණය වැළැක්වීම හා පාලනය කිරීම ගැඹුරෙන් ක්‍රියාත්මක කරන චීනය නිල් අහස, පිරිසිදු ජලය, දූෂණයෙන් තොර භූමිය සුරක්ෂිත කිරීමේ සටන අඛණ්ඩව සිදු කරමින් පරිසර යටිතල පහසුකම් ඉදිකිරීම් මට්ටම ඉහළ නංවා ගන්නා බව ද ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය.

ඉහල ගුණාත්මකභාවයෙන් යුතුව රට සංවර්ධනය කරගැනීම, සමාජවාදී නවීකරණ රට සම්පූර්ණ ලෙස ගොඩනැගීමේ ප්‍රථම කාර්යභාරය බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා පෙන්වා දෙයි. සංවර්ධනය, චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලනයෙන් රට බලගැන්වීමේදී ප්‍රථම මෙහෙවර ලෙස සැලකේ. එසේම, බලවත් ද්‍රව්‍යමය තාක්ෂණික පදනමකින් තොරව සමාජවාදී නවීකරණ රට සම්පූර්ණ ලෙස ගොඩනැගීම ඉටු කළ නොහැකි බව ද ඔහු කියා සිටියි.

නවීකරණ කර්මාන්ත පද්ධතියක් ගොඩනගමින්, සැබෑ ආර්ථිකයට ප්‍රමුඛ අවධානය යොමුකර නවීන කාර්මිකකරණය ප්‍රවර්ධනය කළ යුතුය. බලවත් නිෂ්පාදන රටක්, ඉහළ ගුණාත්මක රටක්, බලවත් අභ්‍යවකාශ රටක්, බලවත් ප්‍රවාහන රටක්, බලවත් අන්තර්ජාල රටක්, සහ බලවත් ඩිජිටල් රටක් ලෙස චීනය ගොඩනැගීම කඩිනම් කළ යුතු බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.

සංවර්ධනය කිරීමේදී ජන ජීවිතය සහතික කරමින් යහපත් කිරීමෙහි ද නිරත විය යුතුය. සුන්දර ජීවිතය නිර්මාණය කිරීමට පොදුවේ උත්සාහ දරන ලෙසට ජනතාව දිරිගන්වමින්, ජනතාව එවන් සුන්දර ජීවිතය කෙරේ දරන අපේක්ෂාවන් ඉටු කිරීමට අඛණ්ඩවම වෑයම් දැරිය යුතු බව ෂී ජින්පිං මහතා පවසයි. එහිදී ජනතාව වැඩියෙන් සලකන ඍජුම, ප්‍රායෝගිකම, ඔවුන්ගේ ප්‍රතිලාභයන්ට අදාල ගැටළුවලට දැඩි ලෙස අවධානය යොමු කළ යුතුය. ඒවාවලට විසඳුම් සොයා දීම සඳහා ජනතාව වෙත ගොස් උපරිමයෙන් ක්‍රියා කරමින් වඩාත් ජන ප්‍රතිලාභී පියවර ක්‍රියාත්මක කළ යුතු බව ද හෙතෙම පැවසීය.

තායිවාන ප්‍රශ්නය විසඳීම චීන ජනතාවටම අයත් කාර්යභාරයක් බවත් එය තීරණය ගනු ලබන්නේ චීන ජනතාව විසින්ම බවත් ෂී ජින්පිං මහතා අද ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ. සාමකාමී එක්සත්කරණ අපේක්ෂාව උපරිම අවංකභාවයෙන් සහ උපරිම උත්සාහයෙන් චීනය සොයා ගෙන ඇත. එහෙත් බලය යෙදීමේ  විකල්පය අත්හරින බවට පොරොන්දු නොවන අතර අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග යොදා ගැනීමේ අයිතිය තබා ගන්නා බව ද හෙතෙම පෙන්වා දෙයි. එය කිසිවිටෙකත්, බාහිර බලවේගයන් හී මැදිහත්වීම් වලටත් "තායිවාන ස්වාධීන" බෙදුම්වාදීන් අති සුළු පිරිස සහ ඔවුන්ගේ බෙදුම්වාදී ක්‍රියාකාරකම් වලටත් එරෙහි වීමකි. ඉන් කිසිසේත්ම තායිවාන ස්වදේශකයන් බහුතරය ඉලක්ක කර නොගන්නා බව ෂී ජින්පිං මහතා අවධාරණය කරයි. චීනය රට සම්පූර්ණයෙන් එක්සත් කිරීම සාක්ෂාත් කර ගත යුතු අතර එය සාක්ෂාත් කරගත හැකි බවට නිසැක යැයිද හෙතෙම කීය.

චීනය ස්වාධීන හා ස්වෛරි සාමකාමී විදේශ ප්‍රතිපත්තිය තරයේ අනුගමනය කරන බවත්, සෑම විටම තම ස්ථාවරය සහ ප්‍රතිපත්තිය මත තීරණ ගනු ලබන්නේ අදාළ කරු‍ණේ හරය මත පදනම්ව බවත් චීන කොමියුනිස්ට් පක්ෂ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා අද ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වෙයි.

චීනය ජාත්‍යන්තර සබඳතාවල මූලික මාර්ගෝපදේශ රැකගනිමින්, ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්ති සහගත බව ආරක්ෂා කරන බවත්, අධිපතිවාදය සහ දාමරිකවාදය ඇතුළු එවැනි ආකාරයේ සියල්ලට දැඩි ලෙස විරුද්ධ බවත් ෂී ජින්පිං අවධාරණය කළේය. සීතල යුද සංකල්පයටත් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට  මැදිහත්වීමටත් ද්විත්ව ප්‍රතිපත්තිවලටත් චීනය දැඩි ලෙස විරුද්ධ වෙයි. චීනය කිසි විටෙක අධිපතිවාදී ආකාරයෙන් ක්‍රියා නොකරන අතර ව්‍යාප්තවාදයෙහි නොයෙදෙන බවත් හෙතෙම පෙන්වා දෙයි.‍

ශ්‍රම දායකත්වයට අනුව සමාජ සම්පත් බෙදා දීමේ ක්‍රමය ප්‍රධාන කර ගනිමින් විවිධ ආකාරවලින් සමාජ සම්පත් බෙදා දීමේ ක්‍රමවේදයෙහි චීනය එල්බ සිටින බව ෂී ජින්පිං මහතා කියා සිටියි. උද්‍යෝගයෙන් ක්‍රියා කර ස්වෝත්සාහයෙන් පොහොසත්කම ළඟා කර ගන්නා ලෙසට ජනතාව ඉන් දිරි ගැන්වේ. මේ අතර අවස්ථා සමානත්මතාවයෙන් යුක්තව බෙදා දීම ප්‍රවර්ධනය කරමින් අඩු ආදායම් ලාභීන්ගේ ආදායම වැඩි කරමින් මධ්‍යම ආදායම් ලාභී පිරිස ව්‍යාප්ත කිරීමෙහි නිරත විය යුතුය. උද්‍යෝගිවත් ශ්‍රම දායකත්වයෙන් ස්වයං සංවර්ධනය ඉටුකිරීමේ අවස්ථා, සැමට භුක්ති විඳීමට ඉඩ දීම සඳහා, රැකියා නියුක්තිය ප්‍රමුඛ ස්ථානයේ තැබීමේ  ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරමින් අසීරුතාවන් සහිත පිරිසට ලබා දෙන සහාය ශක්තිමත් කළ යුතුය.

මේ අතර දූෂණ විරෝධී සටන ජය ගැනීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුක්තව, දූෂණය කෙරේ ශුන්‍ය ඉවසීම පිළිබඳ ආකල්පයෙන් දූෂණයට කිසිදු ඉඩක් නොදෙන බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කරයි.

පරිපූර්ණ වශයෙන් දැඩිව පක්ෂය පාලනය කිරීම අඛණ්ඩව ප්‍රවර්ධනය කිරීම, නවයුගයේ පක්ෂය ගොඩනැගීමේ නව මහා ව්‍යාපෘතිය ගැඹුරින් ක්‍රියාවට නැංවීම මෙන්ම  පක්ෂයේ ස්වයං විප්ලවයෙන් සමාජ විප්ලවය මෙහෙයවීම පිළිබඳව තරයේ සිහි තබා ගත යුතු බව, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා පෙන්වාදෙයි. පක්ෂයේ ස්වයං පිරිසිදු කිරීම, ස්වයං වැඩිදියුණුව සහ ස්වයං නවෝත්පාදනය පූර්ණ වශයෙන් ප්‍රවර්ධනය කළ යුතු අතර, ඉන් චීන කොමියුනිස්ට් පක්ෂය චීන ලක්ෂණයන්ගෙන් යුතු සමාජවාදී කාර්යයේ තිරසර නායකත්ව හරය බවට පත් වන බව ද හෙතෙම අවධාරණය කළේය.

විශාල පක්ෂයකට මුහුණදීමට සිදුවන ප්‍රශ්න විසඳීමේදී චීන කොමියුනිස්ට් පක්ෂය සෑමවිට ම පැහැදිලි අවබෝධයකින් යුක්තව අධිෂ්ඨානශීලීව ක්‍රියා කළ යුතු බව ෂී ජින්පිං මහතා පවසා ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම