චීනයෙන් ජංගම රසායනාගාර බස් රථ 08ක්
2022-09-27 15:56:08
Share with:

වකුගඩු රෝගීන් පෙර හඳුනාගැනීමේ අංගසම්පූර්ණ ජංගම රසායනාගාර බස් රථ 08ක්  චීන රජය, මෙරටට ප්‍රදානය කරයි. මෙම රථවල වටිනාකම  රුපියල් මිලියන 600 කි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති QI Zhenhong මහතා විසින් එම රසායනාගාර බස්රථ, සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී ඊයේ (26) නිල වශයෙන් භාරදෙනු ලැබීය.

ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියකින් යුත් මෙම අංගසම්පූර්ණ ජංගම රසායනාගාර අනුරාධපුර, පොළොන්නරුව,වව්නියාව, අම්පාර, කුරුණෑගල, ත්‍රිකුණාමලය, මාතලේ හා බදුල්ල යන දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල වෙත ලබාදීමට නියමිතයි.

මෙම ජංගම රථවල ඇති පහසුකම් මෙරට මූලික රෝහලක පවතින රසායනාගාර පහසුකම්වලට සමාන වන අතර එය විදුලි බලයෙන් ක්‍රියාත්මක කෙරේ. එහෙත් විදුලි බලය නොමැති ප්‍රදේශයන්හි ද පරීක්ෂණ කළ හැකි අයුරින් විදුලි ජනන යන්ත්‍ර පහසුකම් එහි පවතී.

දෛනිකව 500 ක පමණ පිරිසක් මෙමගින් පරීක්ෂා කළ හැකි අතර, දිස්ත්‍රික් මට්ටමින් හා ප්‍රාදේශීය මට්ටමින් වකුගඩු රෝගීන් හඳුනාගැනීම කාර්යක්ෂමව ඉටුකළ හැකි වේ.

එමෙන්ම කොවිඩ් වැනි හදිසි ව්‍යසනවලදීත් රසායනාගාර කටයුතු සඳහා මෙම ජංගම රසායනාගාර භාවිත කළ හැකි බව වකුගඩු රෝග නිවාරණ හා පරීක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අසංග රණසිංහ මහතා කියාසිටී.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම