බටහිර රටවල්වල බලපෑම් හමුවේ බිඳ දැමිය නොහැකි ආසියානු කලාපයේ ඒකාබද්ධතාවය
2022-08-31 10:24:20
Share with:

වර්තමානයේ ගෝලීය දේශපාලනය තුළ වඩා වැඩි අවධානයක් ආසියානු කලාපයට යොමුව ඇත. විවිධත්වයෙන් යුත් සමාජ හා ආර්ථික ව්‍යුහයන් මෙම කලාපය තුළ දැකිය හැක. විශේෂයෙන් ප්‍රබල ආර්ථික හා දේශපාලන ශක්තියක් පවතින චීනය වැනි රටවල් මෙම කලාපය තුළ ඉදිරියට පැමිණීම කලාපයේ සංවර්ධනයට වඩා වැදගත් වේ. ලෝක ආර්ථිකයෙන් ඇමරිකා ඩොලර් ට්‍රිලියන 2.5ක ආර්ථිකයක් හිමි ආසියානු කලාපය භූ දේශපාලනය තුළ වඩා තීරණාත්මක කලාපයක් බවට ද පත්ව ඇත. වර්තමානයේ මෙම ප්‍රවණතාවයන් සමග ලෝකයේ බල තුලනය ද විතැන් වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශාන්ත ගම්ලත් මහතා ප්‍රකාශ කළේය.

දියුණු සහ පැරණි ශිෂ්ටාචාරයකින් පැවත එන චීනයේ වර්තමාන ආර්ථික වැඩපිළිවෙළ පුළුල් දැක්මකින් යුක්තය. එම ආර්ථික වැඩපිළිවෙළට කලාපයේ රටවල් සම්බන්ධ කර ගනිමින්, සාම්ප්‍රදායික සබඳතාවයන් ඉක්මවා නූතනත්වය තුළ එක්  කලාපයක් ලෙසින් ක්‍රියා කෙරෙන බව ද හෙතෙම කියා සිටී. මේ ප්‍රවණතාව සමග බටහිර රටවල් ආසියා-ෆැසිෆික් කලාපයට වැඩි අවධානයක් යොමු කොට ඇත.

බටහිර ආධිපත්‍යය ආසියානු කලාපය තුළ රඳවා ගැනීමට රටවල් අතර පවතින පරස්පරතාවයන් භාවිතයට ගන්නා අයුරු දැක ගත හැකි බව ද ආචාර්යවරයා ප්‍රකාශ කළේය. ඉන්දියාව අතීතයේ නොබැඳි විදේශ ප්‍රතිපත්තියක කටයුතු කළ ද අද වන විට ඇමරිකාව සහ බටහිර රටවල් සමග බද්ධ වී ඇති ආකරයක් හැඟී යන බවද හෙතෙම සඳහන් කරයි. මෙවැනි මිත්‍ර රාජ්‍යන් හරහා අහිමි වී යන බලය නැවත ලබාගැනීමට බටහිර ඇතැම් රටවල් වක්‍රාකාරයෙන් මැදිහත්වීම් සිදු කරමින් සිටී.

එසේම ජාත්‍යන්තර ආයතන හරහා ද විවිධ කොන්දේසි හරහා බලපෑම් කරනු දැකිය හැක. ෆැසිෆික් කලාපය හා ආසියානු කලාපය ඒකාබද්ධ වීම හරහා අති විශාල ආර්ථික ව්‍යුහයක් නිර්මාණය වීමේ අවකාශයක් පවතී. එහෙයින් එය වළක්වා ගැනීමට බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, ජපානය සහ ඇමරිකාව ඒකාබද්ධව ආරක්ෂක සංවිධානයක් ගොඩනගා ගෙන ඇත. මෙලෙස විවිධාකාරයෙන් බලපෑම් කළ ද ආසියානු කලාපයේ ආර්ථික ශක්තියට බාධා කිරීමට නොහැකිය. එමෙන්ම ආසියානු කලාපයේ ආර්ථික හා සමාජ ඒකාබද්ධතාවයට බලපෑම් කිරීමට උත්සාහ කළ ද එය කළ නොහැක්කක් බව උපායමාර්ගික විශ්ලේෂකයින් පෙන්වා දෙන බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශාන්ත ගම්ලත් මහතා පවසයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම