ඇමරිකාව උත්සාහ කළ ඒක ද්‍රැවීය ක්‍රමය තුළ අසාර්ථකතාවයන් පෙන්නුම් කෙරේ
2022-08-29 09:23:02
Share with:

භූ දේශපාලනයේ ස්වභාවය වර්තමාන පවතින දේශපාලන පරිවර්තනයන් සමග විශ්ලේෂණය කළ යුතු වේ. විශේෂයෙන්ම සීතල යුද්ධය අවසන් වීමෙන් සෝවියට් සංගමය බිඳ වැටුණු අතර ලෝක ක්‍රමයේ විශාල වෙනසක් සිදු විය. එහි දී ඇමරිකා එක්සත් ජනපදය නව ලෝක රටාවක් නිර්මාණය කිරීමට උත්සාහ කළේය. ඒ හරහා ඇමරිකාව ඒක ද්‍රැවීය ලෝක ක්‍රමයක් පවත්වා ගෙන යාමට අරමුණු කළ බව කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සුමිත් චාමින්ද මහතා කියා සිටී.

නමුත් ඇමරිකාව උත්සාහ කළ ඒක ද්‍රැවීය ක්‍රමය තුළ යම් අසාර්ථකතාවයන් පෙන්නුම් කරමින් වර්ෂ 2000න් පසු එය සම්පූර්ණයෙන්ම වෙනස් මගකට කේන්ද්‍රගත විය. එනම් නූතන ප්‍රවණතාවයන් සමග බහු ද්‍රැවීය ලෝක ක්‍රමයක් බිහි වීම ඇරඹිණි. ඒ සමගම ආධිපත්‍යයම ස්වරූපය බිඳ වැටුණි. චීනයේ සිදු වූ සංවර්ධනීය පරිවර්තනය ද එයට ඉවහල් විය.

ලෝකයේ සෑම කාලයකම විවිධ රටවල් බලවත් රටවල බලපෑම්වලට ලක් විය. ශ්‍රී ලංකාව යුරෝපා යටත් විජිතයක් බවට පත් වීම ද එවැනි අවස්ථාවකි. නූතන ලෝක ක්‍රමය බිහි වීමට පෙර පැවතුනේ අධිරාජ්‍යවාදී පාලනයකි. නමුත් නූතන ජාතික රාජ්‍ය ක්‍රමය තුළ නිල වශයෙන්ම සෑම රටකටම ස්වාධිපත්‍යය බලයක් හිමි වේ. එසේ වුව ද පූර්ව අභාසයන් සහිතව සෘජු හෝ වක්‍රව මැදිහත්වීම වර්තමානයේ ද සිදු වේ. 19 වන සියවසේ සිටම ලතින් ඇමරිකානු කලාපය තුළ ඇමරිකා එක්සත් ජනපදය ආර්ථිකමය ආධිපත්‍යය තමන් සතුව පවත්වා ගත්තේය. එසේම එම රටවල තමන්ට හිතෛෂී දේශපාලන අධිකාරින්ට බලය ලබා දීමට ද කටයුතු කළේය .

සෘජු මැදිහත්වීම් සිදු කරමින් පසුගිය කාලයේ ඉරාකය, ඇෆ්ගනිස්ථානය සහ සිරියාව යන රටවල මෙන්ම ආසියා කලාපයේ ද ගැටුම් නිර්මාණය කළ බව හෙතෙම කියා සිටී. එපමණක් නොව ජාත්‍යන්තර මූල්‍ය ආයතන වන ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන හරහා ද දේශපාලන කොන්දේසි පනවනු ලබයි. මෙලෙස විවිධ ස්වරූපයෙන් රටවල ස්වාධීනත්වයට බලපෑම් බොහෝ කාලයක සිට සිදු කරමින් සිටින බව කථිකාචාර්ය සුමිත් චාමින්ද මහතා අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම