ලෝකයේ රටවල ස්වෛරීත්වයට බලපෑම් කරන ඇමරිකාවේ වියරු උත්සාහය
2022-08-24 09:13:38
Share with:

1991 සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ඇති වූ ඒකද්‍රව ලෝක රටාව ක්‍රමානුකූලව බහු ද්‍රව ලෝක රටාවක් බවට පරිවර්තනය වී ඇත. 2010 වන විට චීනය කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය වූ ආර්ථික සංවර්ධනය ඊට මූලික හේතුවක් විය. ඒ සමගම ආසියාව ලෝක ආර්ථිකයේ පෙර ගමන්කරු බවට පත් වීමත්, ආසියානු ආර්ථිකයේ ගාමක බලවේගය බවට චීනය පත් වීමත් සිදු විය. මෙලෙස විතැන් වූ ආර්ථික බලය සමග දේශපාලන බලයේ වෙනස් වීම ද ඇරඹිණ. මෙම පරිවර්තනය ඇමරිකාව ප්‍රමුඛ නේටෝ රටවලට සහ අධිරාජ්‍යවාදී බලවේගයන්ට සිය අධිකාරිය පවත්වා ගෙන යාමට බාධාවක් වූ බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසයි. ඒ හේතුවෙන් එම රටවල් වියරු උත්සාහයක නිරත වෙමින්, ලොව රටවල ස්වාධීනත්වයට අනිසි බලපෑම් කරමින් සිටී.

මෙම අධිරාජ්‍යවාදී බලවේගයන් යුක්රේනය සහ සිරියාව තුළ ගැටුම් නිර්මාණය කිරීමට යොමු වූ බව නොරහසකි. එමෙන්ම පසුගියදා නැන්සි පොලාසි අනවසරයෙන් චීන තායිවාන ප්‍රදේශයේ සංචාරයකට යොමු කරමින් සිදු කළ බලහත්කාරී ක්‍රියාවද  පෙන්වා දිය හැකි බව‍ හෙතෙම කියා සිටී. ශ්‍රී ලංකාවට චීන පර්යේෂණ නෞකාවක් පැමිණීම සාමාන්‍ය නාවික සංසිද්ධියක් වුවද, එම නෞකාවේ ලංකා ගමන සම්බන්ධයෙන් ද අයුතු බලපෑම් සිදු කිරීමට ඇමරිකාව උත්සාහ ගත් බවට තොරතුරු වාර්තා විය. මේ අයුරෙන් ආසියාව, අප්‍රිකාව, ලතින් ඇමරිකාව සහ යුරෝපයේ රටවල්වල අභ්‍යන්තර කටයුතු වලට අයුතු බලපෑම් කිරීමට, තීරණ ගැනීමේ ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට සහ ස්වාධීනත්වයට හානි කිරීමට ඇමරිකාව උත්සාහ දරන බව පැහැදිලිව ගම්‍යමාන වේ.

විශේෂයෙන්ම දකුණු චීන මුහුදේ, තායිවාන සමුද්‍ර සන්ධියේ සහ ඉන්දියානු සාගරයේ ද ඇමරිකාව සිය බලපෑම් සිදු කිරීමට උත්සාහ ගනිමින් සිටී. එමෙන්ම තමන්ට හිතෛෂී රාජ්‍යන් සමග ඒකාබද්ධව ඉන්දියානු සාගරය ආශ්‍රීතව විවිධ සංධාන නිර්මාණය කරමින් රටවල් අතර ගැටුම් ඇති කිරීමට ද කටයුතු කරමින් ඇත. ඒ හේතුවෙන් ආසියානු කලාපයේ රටවල් ස්වාධීනත්වය හා ස්වෛරීත්වය අගය කරන දේශපාලන බලවේග නිවැරදිව හඳුනා ගනිමින් කටයුතු කිරීම වගකීමක් මෙන්ම අභියෝගයක් බව ද විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම