ලෝකයේ රටවල ස්වාධීනත්වයට බලපෑම් කරමින්, ගැටුම් නිර්මාණය කරන ඇමරිකාවේ සැඟවුණු න්‍යායපත්‍රයට එරෙහි වීම කාලීන අවශ්‍යතාවයක්
2022-08-23 09:21:12
Share with:

ලෝකයේ රටවල ස්වාධීනත්වයට බලපෑම් කරමින්, රටවල්වල පවතින ආණ්ඩු වෙනස් කිරීමට ඇමරිකාව අවස්ථාවන් රැසක දී උත්සාහ කළ බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් සහ හිටපු කැබිනට් අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පවසයි. යුක්රේනය තුළ වර්තමානයේ ඇති වී ඇති අර්බුදයට ද එවැනි බලපෑමක් සිදු විය. ලිබියාවේ ද අස්ථාවරත්වයක් නිර්මාණය කිරීමට ඇමරිකාව කටයුතු කළේය. මැද පෙරදිග කලාපයේ සිරියාව හා ඉරාකය යන රටවල ද ලෙබනනය සහ ඇෆ්ගනිස්තානය යන රටවල්වල ද ගැටුම් ඇති කිරීමට ඇමරිකාව උපක්‍රමිකව ක්‍රියා කළ බව හෙතෙම කියා සිටී.

ඒ ඒ රටවල ස්වභාවය හඳුනා ගනිමින්, සිය ආධිපත්‍යය තුළ ගැටුම් නිර්මාණය කිරීමට මෙම බටහිරකරණය උත්සාහ කර ඇත. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයන් පවතින රටවල්වල ද මැතිවරණ කටයුතු සඳහා බලපෑම් කරන අයුරු දැකිය හැක. ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමක් යැයි හගවමින් මෙම අනිසි බලපෑම් අඛණ්ඩව සිදු කරන බව ඔහු පෙන්වා දෙයි.

වර්තමානයේ පවතින්නේ ගෝලීයකරණය වන බහුපාර්ශවීය ආර්ථික ක්‍රමයකි. එවැන්නක් සඳහා වඩා යෝග්‍ය වන්නේ සාමකාමී සහජීවනයෙන් යුත් ප්‍රතිපත්තියකි. නමුත් එය අවබෝධ කර නොගෙන චීන විරෝධී ආකල්ප වර්ධනයට උත්සාහ ගනිමින් සිටී. නමුත් එය නිෂ්ඵල කටයුත්තක් බවත් වර්තමානයේ ලෝක ක්‍රමය තුළ ඇමරිකාවට එවැනි බලපෑම් සිදු කළ නොහැකි බව ද හෙතෙම අවධාරණය කළේය.

පසුගිය BRICS සමුළුවේ දී වැදගත් යෝජනා රැසක්ම ඉදිරිපත් විය. ඩොලර් මුදල් ඒකකය වෙනුවට විකල්ප මුදල් ඒකකයක් ස්ථාපිත කිරීමට රුසියානු ජනාධිපතිවරයාගේ යෝජනාව එහිලා වඩා සුවිශේෂී වේ. ඒ අනුව BRICS සහයෝගිතාවය සහිත මුදල් ඒකකයක් නිර්මාණය වීම ගෝලීය වෙළඳාමේ ඵලදායිතාවයට වඩා වැදගත් වනු ඇත. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සංයුතිය වෙනස් කිරීමට ද කටයුතු කළ යුතුය. එය එක්සත් ජාතීන්ගේ සංවිධාන මට්ටමින් කළ යුත්තකි. තවදුරටත් IMF යනු ඇමරිකාවේ අතකොලුවක් නොවන බව ද ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය .

ඉහළ මට්ටමේ සංවර්ධනයක් සහිත චීනය, රුසියාව සහ බ්‍රසීලය වැනි රටවල් සමග අන්තර් සබඳතාවයන් වර්ධනය කිරීම වඩා වැදගත් වේ. ගෝලීය උතුර සහ ගෝලීය දකුණ ලෙස කලාප දෙකක් නිර්මාණය වී ඇති බවත් ගෝලීය දකුණ ආර්ථිකමය වශයෙන්වේගයෙන් ශක්තිමත් වී ඇති බවත් හෙතෙම කියා සිටී. ගෝලීය උතුරට මූල්‍ය ශක්තියක් තිබුණ ද, එය වසර 200ක පමණ අධිරාජ්‍යවාදය තුළ සහ සුරාකෑම තුළ අත්පත් කර ගත් ප්‍රාග්ධනයකි. එම ප්‍රාග්ධනය ද ක්‍රමයෙන් අහිමි වෙමින් පවතී. වර්තමානයේ ප්‍රාග්ධනය ඒකරාශි වීම දකුණ කේන්ද්‍රව සිදු වේ. එමෙන්ම වර්තමානයේ ගෝලීය වෙළඳපොළ ද ගෝලීය දකුණ ඉලක්ක කර නිර්මාණය වෙමින් ඇත. චීනය එහි දී ලබා දී ඇති දායකත්වය වඩා සුවිශේෂී වේ. එහෙයින් ඇමරිකාව කුමන බලපෑම් කළ ද ලෝක ආයෝජනය චීනය වැනි ශක්තිමත් ආර්ථිකයන් දෙසට විතැන් වීම නොවැළැක්විය හැකි බව ඩිව් ගුණසේකර මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම