වෙනත් රටක ස්වෛරීත්වයට අභියෝග කිරීම සදාචාරසම්පන්න රටක පිළිවෙත නොවේ
2022-08-19 14:36:22
Share with:

ඕනෑම රටක් ලොව වෙනත් රටක ස්වෛරීත්වයට බලපාන ක්‍රියාකාරකම්වල නිරත නොවිය යුතුය යන්න ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුණු මූලධර්මයකි. එය නොසලකා ක්‍රියාකිරීමට කිසිදු රටකට සදාචාරාත්මක අයිතියක් නැතැයි ප්‍රවීණ මාධ්‍යවේදී රමේෂ් වරල්ලේගම මහතා කියාසිටී.

තායිවානය,  චීනයට අයත් ප්‍රදේශයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගනු ලැබුවේ මූලධර්මයකි. ඒ අනුව එතැන් පටන් තායිවානය හා සම්බන්ධ ඕනෑම කරුණක නිසි බලධරයා ලෙස චීනය ක්‍රියාකළේය. මෑතකදී ඇමරිකානු කොංග්‍රසයේ කථානායකවරිය වන නැන්සි පෙලොසි චීනයෙන් බරපතල විරෝධයක් එල්ල වී තිබියදීත් තායිවානයේ සංචාරයකට එක්වූවාය. මීට එරෙහිව චීනය දියත් කළ යුද අභ්‍යාස සහ වෙනත් සම්බාධක පැනවීම් ඇමරිකානු හිතෛෂී පාර්ශ්ව විසින් විවිධාකාරයෙන් අර්ථ නිරූපණය කර තිබිණ.

මෙම සංචාරයෙන් තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස සාමය කඩවීම, තම රටේ භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වය බරපතල ලෙස අභියෝගයට ලක්වීම නිසා ඊට එරෙහිව නිසි, නීත්‍යනුකූල පියවර ගැනීමට සිදු වූ බව චීනය පැහැදිලි කර ඇත. එය ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරගැනීමකි.

තායිවානය පිළිබඳ කරුණු චීනයේ අභ්‍යන්තර කටයුත්තකි. චීනයත්, තායිවානයත් අතර කිසියම් මතභේදාත්මක තත්වයක් වේ නම් එය විසඳා ගත යුත්තේ ඔවුන් මිස තුන්වන පාර්ශ්වයක මැදිහත්වීමකින් නොවේ. මෙවන් අර්බුදවලට තුන්වන පාර්ශ්වයකින් කෙරෙන අතපෙවීම් බිහිසුණු යුද්ධ දක්වා වුව විකාශනය විය හැකි යැයි වරල්ලේගම මහතා කියාසිටී.

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා ද පසුගියදා ප්‍රකාශ කර තිබුණේ නැන්සි පෙලොසිගේ චාරිකාව, වගකීම් විරහිත දේශපාලනඥයෙකුගේ නොමනා ක්‍රියාවක් බව යි. කෙසේවෙතත් චීනය  හා ඇමරිකාවේ සම්බන්ධතා මෙම ක්‍රියාව නිසා දැඩිව පළුදු වී ඇත. ජගත් සංවිධානය විසින් පවා පිළිගැනුණු කිසියම් රටක් ලෝක බලඅධිකාරය තහවුරු කිරීම සඳහා නිරත වන ක්‍රීඩාවන්හි ඉත්තන් බවට වෙනත් රටවල් පත්විය යුතු නැත. එකම චීනය මූලධර්මයට එරෙහි වීමෙන් ඇමරිකාව සැබැවින්ම අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න තායිවානය පමණක් නොව සමස්ත ලෝක ප්‍රජාවම වටහාගත යුතුව ඇතැයි ප්‍රවීණ මාධ්‍යවේදී රමේෂ් වරල්ලේගම මහතා පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම