ශ්‍රී ලංකාවේ පිහිටි වරායන් වෙත නෞකාවන් පැමිණීමට බාහිර පාර්ශව බාධා කිරීම වැරදි සහගත ක්‍රියාවක්
2022-08-18 10:42:33
Share with:

ඉතිහාසයේ සිටම ඇමරිකා එක්සත් ජනපදය ලෝක බලතුලනය වෙනස් කිරීමට උත්සාහ කළේය. අද වන විට ඇමරිකාවට සිය ආර්ථික හා දේශපාලන බලය ගිලිහී යන විට එම බලය රඳවා පවත්වා ගැනීමට කටයුතු කරනු දැකිය හැකිය. ඒ සඳහා ලෝකයේ සෙසු රටවල් සිය ග්‍රහණයට නතු කර ගැනීමට විවිධ උපක්‍රම භාවිත කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා කියා සිටී. ශ්‍රී ලංකාව තුළ ද  ඇමරිකාව එල්ල කරන බලපෑම් හමුවේ ආර්ථික හා දේශපාලන අර්බුදයන් තවදුරටත් නිර්මාණය වීමේ ඉඩකඩ ද පවතී.

ශ්‍රී ලංකාවේ තිස් වසරක යුද්ධය අවසන් කිරීමට විදේශ රටවල්වල ද සහයෝගය ලැබිණ. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ හා ජිනීවා මානව හිමිකම් සමුළුව තුළ ගැටලුකාරී අවස්ථාවන්හි දී චීනය හා රුසියාව ඇතුලු මිත්‍ර පාර්ශවීය රටවල් විශාල කාර්යභාරයක් ඉටු කළහ. එමෙන්ම ලංකාවේ  සංවර්ධන කටයුතු සඳහා ද එම රටවල් සිය දායකත්වය ලබා දුන් බව හෙතෙම ප්‍රකාශ කළේය. නමුත් බටහිර රටවල් එවැනි අවස්ථාවන්හි දී ලංකාව වෙනුවෙන් සහයෝගය ලබා නොදුන්හ. එහෙයින් ආර්ථික සහ දේශපාලන වුවමනාවන්ගෙන් තොරව සහ පෞද්ගලික අභිමතාර්ථයන්ගෙන් තොරව කටයුතු කරන රටවල් හඳුනා ගනිමින් සබඳතා පවත්වා ගැනීම ඉතා වැදගත් වනු ඇත. ඉතිහාසයේ සහ වර්තමානයේ චීනය එවැනි සහයෝගී සබඳතා පවත්වා ගැනීමෙහිලා වඩාත් විශේෂ වන බව ද මන්ත්‍රීතුමන් ප්‍රකාශ කළේය .

ලංකාවේ පිහිටි ප්‍රධාන වරායන් වෙත විවිධ අවශ්‍යතාවයන් මත නෞකාවන් පැමිණීම දැකිය හැකිය. ඒ අතර යුධ නෞකාවන්, භාණ්ඩ හා මගී නෞකාවන් ද විය. එමෙන්ම මීට පෙර ද ලංකාවට ආසන්න මුහුදු තීරයේ යුධ අභ්‍යාස ද සිදු කර ඇත. ඇමරිකාවේ යුධ නැව් ද ඒ අතර විය. එහෙයින් චීනයේ යුවාන් වැන්ග් 5 නෞකාව පැමිණීම ද  සාමාන්‍ය සිදුවීමක් බව හෙතෙම කියා සිටී. මෙවැනි සාමාන්‍ය තත්ත්වයක දී එම නැව පැමිණීමට බාධා කිරීම වැරදි සහගත ක්‍රියාවක් බවත්, එවැනි අවස්ථාවක දී ඉන්දියාව වැනි තුන්වන පාර්ශවයක මැදිහත්වීමක් සිදු නොවිය යුතු බව ද ඔහු අවධාරණය කළේය. ආර්ථිකම වශයෙන් ලංකාවේ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා චීනයේ සහයෝගය වඩා වැදගත් පසුබිමක  චීනයේ යුවාන් වැන්ග් 5 නෞකාව පැමිණීම වඩා වැදගත් අවස්ථාවක් බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම