චීන තායිවාන ප්‍රදේශයට ඇමරිකාවේ අතපෙවීම විශ්ලේෂණාත්මක ඇසකින්..
2022-08-12 18:34:13
Share with:

ඇමරිකානු කතානායකවරිය වන නැන්සි පෙලොසි තායිවාන ප්‍රදේශයට පැමිණීමට එරෙහිව චීනය බලවත් විරෝධය පළකරමින් මෑත ඉතිහාසයේ තම දැවැන්තම යුද අභ්‍යාසය තායිවාන සමුද්‍ර සන්ධියේ දියත් කළේය. තායිවාන දූපත ආශ්‍රිතව පමණක් නොව අහස්කුස සිසාරා තම යුද ශක්තිය ප්‍රදර්ශනය කිරීමට චීනය පියවර ගත්තේය. ඒ අතරම බෙයිජිං පරිපාලනය පෙලෝසිට එරෙහිව සම්බාධක ද පැනවීය. එසේම මෙය තම රටේ අභ්‍යන්තර කටයුත්තක් බවද චීනය අවධාරණය කළේය. මේ අතර ඇමරිකානු රාජ්‍යලේකම් ඇන්තනි බ්ලින්කන් පැවසුවේ, චීනය තම යුද ශක්තිය මෙසේ අසාධාරණ ආකාරයෙන් විදහාපෑම මේ අර්බුදය වඩාත් තීව්‍ර කිරීමක් බවයි. නමුත් මේ අර්බුදය හා සම්බන්ධව චීනය මෙවන් ප්‍රතිචාරයක් දක්වූයේ ඇයිද යන්න ගැඹුරින් විමසා බැලීම වැදගත් බව ප්‍රවීණ දේශපාලන විශ්ලේෂක විජය දිසානායක මහතා පෙන්වාදෙයි.

1946 සිට 1950 දක්වාවූ කාලය, චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ, එවක පැවති ක්වොමින්තාන් පක්ෂයේ  පාලනය පෙරලා දමා මුළු චීනයම නිදහස් කර ගැනීමේ විශේෂ යුගයකි. එම කාලයේ චීන කොමියුනිස්ට්වාදීන් අත්පත් කරගත් ‍ඉතා දැවැන්ත ජයග්‍රහණයත් සමගම ක්වොමින්තාන් පාලන කණ්ඩායම‍ට චීන මහ ගොඩබිමින් කිලෝමීටර 130 ක් දුරින් පිහිටි තායිවාන දූපතට පලායාමට සිදුවිය. 1971 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය චීන මහ ගොඩබිම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුළත් කර ගත්තේය. එසේම, තායිවානයේ සාමාජිකත්වය අහෝසි කෙරිණ. මේ යෝජනාවලිය මගින් චීන මහජන සමූහාණ්ඩුවට තායිවාන ප්‍රදේශය චීනය සතු භූමියක්‍ ලෙසට නෙවෙනස් පැවැත්ම මෙන්ම චීන ජනතාවගේ සැබෑ නියෝජිතයා බවට පත්වීමට හැකියාව ලැබිණ. මේ ලෝකයේ නිරවි යුද සමය පැවති අවදියයි. නිරවි යුද සමයේ චීනය සහ සෝවියට් සංගමය අතර පැවති යම් දෘෂ්ටිවාදීමය වෙනස්කම් පවා ඇමරිකාව භාවිත කළේ තමන්ගේ වාසිය සඳහායි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ සම්මත වූ මෙම යෝජනාවෙන් චීන ප්‍රධාන ගොඩබිමට හිමිවීමට තිබූ  අයිතියක් යළි ප්‍රතිෂ්ඨාපනය කළ බවත් මෙමගින් පැහැදිලිව අවධාරණය කෙරිණ. එසේම, 1949 වසරේදී චීනයට හිමි අසුන ලබා නොදීම තමන් කළ වරදක් ලෙසත් මේ ප්‍රකාශනය මගින් ගම්‍ය වූ බව කිවහැකිය.  ඒ අනුව චීනය, තායිවානය යනු තම රටෙන් කිසිසේත් වෙන් කළ නොහැකි කොටසක් සේ සලකයි. 1979 ඇමරිකාව චීනයේ ප්‍රධාන ගොඩබිම පිළිගැනීමත්, චීන රජය චීන ජනතාවගේ නීත්‍යනුකූල රජය ලෙස පිළිගැනීමත් සිදු විය. 

පෙලෝසි තායිවානයට පැමිණීම, 1997 න් පසු එහි සිදුවූ ඇමරිකාවේ ඉහළම නිලධාරියෙකුගේ පළමු සංචාරය හැටියට සැලකිය හැකිය. ඇය තායිවානය වෙත පැමිණීම, තම අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීමක් ලෙස චීනය සැලකීම මවිතයට කරුණක් නොවේ. චීනය පැවසුවේ, යම් මොහොතක තායිවානය ස්වාධීනත්වය ප්‍රකාශයට පත්කළහොත්, අවශ්‍ය අවස්ථාවේ තම ශක්තිය යොදවා එය තම පාලනය යටතට ගන්නා බවයි. මෙය නූතන ජාතික රාජ්‍ය සංකල්පය අනුව අප පිළිගත යුතුව තිබේ. වර්ධනය වන තත්වයන් තුළ චීන විදේශ අමාත්‍යාංශය ඇමරිකාවට එරෙහිව විරෝධය පළ කර තිබේ. මේ චාරිකාව තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය හා ස්ථාවරත්වයට බලපෑමක් එල්ලකරන බව චීනය ප්‍රකාශ කළේය.එසේම ඔවුන් පෙන්වා දෙන්නේ, චීනය සහ ඇමරිකාව අතර පවතින දේශපාලන සම්බන්ධයේ පදනමට මෙන්ම චීනයේ ස්වෛරීත්වයට හා භෞමික අඛණ්ඩතාවට මෙමගින් ඉතා බරපතල බලපෑමක් සිදු වූ බවයි.

නූතන අන්තර්ජාතික පද්ධතිය සියුම් ව විමසීමේ දී ඕනෑම විශ්ලේෂකයෙකුට මේ රටවල් දෙක අතර සම්බන්ධතා ඉදිරියට ගමන් කරන්නේ කවර ආකාරයෙන් ද යන කරුණ බෙහෙවින් සිත්ගන්නාසුලු හැදෑරීමක් වනු ඇත. ඒ, මෙම කාරණය මත ලෝක ඉදිරි ගමනේ දිශානතිය තීරණය වන නිසාය.

මේ වනවිට බෙයිජිං පරිපාලනය ක්ෂේත්‍ර ගණනාවක් හා සම්බන්ධව වොෂිංටනය හා පැවති සංවාද අවසන් කර තිබේ. මේ අර්බුදයේ අවසාන චෝදනාව චීනයේ යුද අභ්‍යස කෙරෙහි එල්ලකිරීමට වොෂිංටනය පියවර ගනු ඇත.  බටහිර මාධ්‍ය සියල්ල ක්‍රියාකරන්නේ ද ඔවුන්ගේ වුවමනාවට අනුගතව ය. නමුත් යථාර්ථය වන්නේ එය නොවේ.

යුරේසියානු කලාපයේ අනුකලනය වීමට සහ මෙම යුරේසියානු භූ ස්කන්ධයේ ඇමරිකාව සතු ආධිපත්‍යයට අභියෝග කරන බලවත් රාජ්‍යයන් නැගීසීටීම මැඩපැවැත්වීම සඳහා වොෂිංටනය දරන අසාර්ථක උත්සාහයේ තවත් එක් අවස්ථාවක් හැටියට තායිවාන-චීන අර්බුදය ලෝක ඉතිහාසයට එක්වනු ඇතැයි  ප්‍රවීණ දේශපාලන විශ්ලේෂක විජය දිසානායක මහතා පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම