තායිවාන සමුද්‍ර සන්ධිය පිළිබඳ G7 කණ්ඩායමේ ප්‍රකාශය චීන විදේශ ඇමති තරයේ ප්‍රතික්ෂේප කරයි
2022-08-04 19:22:52
Share with:

තායිවාන සමුද්‍ර සන්ධිය පිළිබඳ G7 කණ්ඩායමේ ප්‍රකාශය චීන විදේශ ඇමති වං යී මහතා තරයේ ප්‍රතික්ෂේප කරයි.

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ ඇමති වං යී මහතා අද (4) නොම් පෙන් හි පැවති නැගෙනහිර ආසියානු සහයෝගීතාව පිළිබඳ විදේශ ඇමතිවරුන්ගේ රැස්වීම් මාලාවට එක් වූ අවස්ථාවේදී, G7 කණ්ඩායම් රටවල විදේශ ඇමතිවරුන් නිකුත් කළ තායිවානය සම්බන්ධ ප්‍රකාශය දැඩිව ප්‍රතික්ෂේප කළේය.

ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා චීනය ක්‍රියාත්මක කරන සාධාරණ හා නීත්‍යනුකූල ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් G7 කණ්ඩායමේ රටවල විදේශ ඇමතිවරුන්ගේ ප්‍රකාශය පදනම් විරහිත චෝදනාවක් බව වං යී මහතා අවධාරණය කළේය.

G7 කණ්ඩායමේ වැරදි ක්‍රියා චීන ජනතාවගේ දැඩි කෝපයට හේතු වී ඇති බවත්, චීනයේ සහ අනෙකුත් රටවල ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය කිසිදු හේතුවක් නොමැතිව උල්ලංඝනය කිරීමට කිසිවිටෙකත් ඉඩ නොදෙන බවත් වං යී මහතා කියා සිටියේය. වත්මන් චීනය තවදුරටත් 19 වැනි සියවසේ පැවති චීනය නොවේ. ඉතිහාසය යළි යළිත් සිදු නොවිය යුතු අතර, එය කිසිදාක නැවත සිදු නොවනු ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

ජාත්‍යන්තර ප්‍රජාව එකම චීනය යන මූලධර්මයට එල්ලවන ඕනෑම අභියෝගයකට පැහැදිලිවම විරුද්ධ විය යුතු අතර, වෙනත් රටවල ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීම්වලට එරෙහි විය යුතු යැයි වං යී මහතා අවධාරණය කළේය.

කලාපීය රටවල් තම තමන්ගේ ආරක්ෂාව සහ කලාපීය සාමය හා ස්ථාවරත්වය සැබැවින්ම ආරක්ෂා කර ගැනීම සඳහා එකට කටයුතු කළ යුතු බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම