ඇමරිකාව සිය වැරදි වහාම නිවැරදි කර ගත යුතු බව චීනය දැඩිව අවධාරණය කරයි
2022-08-03 09:56:46
Share with:

චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය Xie Feng මහතා චීනයේ ඇමරිකානු තානාපති Nicholas Burns මහතා හදිසියේ කැඳවයි. ඊයේ (2) රාත්‍රියේ මෙම කැඳවීම සිදු කෙරුණු අතර, ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල කථානායිකා Nancy Pelosi චීන තායිවාන ප්‍රදේශ‍යේ සංචාරය කිරීම පිළිබඳව චීන රජය වෙනුවෙන් එහිදී ඇමරිකාවට දැඩි විරෝධය පළ කෙ‍රිණ.

Nancy Pelosi ලෝක මතය ප්‍රතික්ෂේප කර හිතාමතාම ප්‍රකෝපකාරී අයුරෙන් එකම චීනය යන මූලධර්මය සහ චීන - ඇමරිකානු ඒකාබද්ධ නිල නිවේදන තුනෙහි විධිවිධාන බරපතල ලෙස උල්ලංඝනය කළ බවත්, චීන - ඇමරිකානු සබඳතාවල දේශපාලන පදනම ඉන් බරපතල ලෙස කම්පනයට ලක් කළ බවත් චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය Xie Feng මහතා එහිදී පවසා තිබේ. එය චීනයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වය බරපතල ලෙස හෑල්ලු කළ එම පියවර තායිවාන බෙදුම්වාදීන් වෙත බරපතල වැරදි සංඥාවක් නිකුත් කරන බවත් Xie Feng මහතා පැවසීය. එහි ස්වභාවය අතිශයින් නොමනා අතර ප්‍රතිවිපාක ද අතිශයින් බරපතල ය. චීනය කිසිවිටෙකත් නිසොල්මන්ව නොසිටින බවද හෙතෙම අවධාරණය කර තිබේ.

එහි වගකීම ඇමරිකානු රජය භාරගත යුතු බව Xie Feng මහතා පෙන්වා දුන්නේය. ඇමරිකාව සිය පෙර ප්‍රකාශ උල්ලඝනය කර තිබේ. එකම චීනය යන මූලධර්මය අඛණ්ඩව විකෘති කර රතු සීමාව අභිබවා යාමට උත්සාහ කර අසාධාරණ මාර්ගයෙන් ඇමරිකාව "තායිවාන කාඩ්" සමග ක්‍රීඩා කරමින් සිටී. ඇමරිකානු රජය Nancy Pelosi නොසැලකිලිමත් ලෙස ක්‍රියා කිරීමෙන් වලක්වා ගත යුතුව තිබිණ. එහෙත් ඇයගේ හැසිරීමට ඉඩ දී තායිවාන සමුද්‍ර සන්ධි දෙපස ආතතීන් උග්‍ර කරමින් සහ චීන - ඇමරිකානු සබඳතාවලට බරපතල ලෙස හානි කර තිබේ.

Xie Feng මහතා පැවසුවේ ඇමරිකාව තම වැරදි සඳහා වන්දි ගෙවිය යුතු බවයි. චීනය අධිෂ්ඨානශීලීව ප්‍රතිප්‍රහාර සඳහා අවශ්‍ය පියවර ගනු ඇති අතර, එය එලෙසින්ම සිදු කරනු ඇත. දේශපාලන වාසි සඳහා තායිවාන ප්‍රශ්නය හැසිරවීමට උත්සාහ දරන ඕනෑම අයෙකු‍ට අත්වන්නේ හරසුන් අවසානයකි.

Xie Feng මහතා ඇමරිකාවෙන් ඉල්ලා සිටියේ වහාම එහි වැරදි නිවැරදි කර Nancy Pelosi ගේ සංචාරයේ අහිතකර බලපෑම ඉවත් කිරීමට ප්‍රායෝගික පියවර ගන්නා ලෙසයි.

තායිවාන බෙදුම්වාදීන්ට සහය දැක්වීම සහ ඔවුන්ට සමාව දීම නතර කරන  ලෙසත්, ඕනෑම ආකාරයකින් "තායිවානය භාවිතය කර චීනය පාලනය කිරීම?" වෙනුවෙන් දරන කුමන්ත්‍රණයන් නතර කරන ලෙසත් චීනය ඇමරිකාවෙන් නැවත වරක් ඉල්ලා සිටී. එමෙන්ම, තායිවාන කටයුතුවලට සහ චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම වහාම නතර කර, වැරදි සහ භයානක මාවතේ තව තවත් ඉදිරියට නොයා යුතු යැයි Xie Feng මහතා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම