සැඟවුණු න්‍යායපත්‍රයන් සහිත ඇමරිකානු ගිවිසුම් හරහා බලපෑමට ලක්වන රටවල ස්වාධීනත්වය
2022-08-03 15:09:23
Share with:

රටවල් අතර විරසකයන් නිර්මාණය කිරීමට ඇමරිකාව සෑම විටම උත්සාහ කරමින් සිටින බව ශ්‍රී ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි. අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙමින් ඔවුහූ එම උත්සාහයේ නිරතව සිටිති.

ඇමරිකාව සිය ආර්ථික කටයුතුවලට පහසු වන අයුරින් ශ්‍රී ලංකාව වැනි රටවල් යොදා ගැනීමට වෑයම් කරමින් සිටී. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා උපයෝගී කොට ගෙන එවැනි බලපෑම් ඇමරිකාව සිදු කරන බව මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි .

ඉන්දියානු සාගරයේ ඇමරිකාව සිය ප්‍රධාන යුධ කඳවුරක් ස්ථාපිත කිරීම හරහා ඉන්දියානු සාගරය පාලනය කිරීමට උත්සාහයක් දරමින් සිටී. එය අසල්වැසි රටවල ආර්ථික සහ දේශපාලනික ලෙස බලපෑම් කිරීමකට ද යොමුව ඇත. ශ්‍රී ලංකාවේ ස්වභාවික වරාය වූ ත්‍රිකුණාමල වරාය ඒ සඳහා යොදා ගැනීමට ඔවුන්ගේ අපේක්ෂාවක් ඇති බව ද මහාචාර්යවරයා හෙළි කරයි.

ඇමරිකාව සිය ආධිපත්‍යය උදෙසා විවිධ කරුණු පදනම් කරගෙන රටවල් සමග උපක්‍රමිකව ගිවිසුම් ගත වී ඇත. ශ්‍රී ලංකාව සමග මේ වන විටත් ආරක්ෂකමය ගිවිසුම් ඇති කර ගෙන ඇත. එමෙන්ම MCC ගිවිසුම හරහා ආර්ථිකමය බලය නතු කරගැනීමටත්, ඇමරිකානු බහු ජාතික සමාගම්වලට ආර්ථික සුරාකෑමට පහසු පසුබිම සකස් කර දීමටත් ඔවුහූ  අපේක්ෂා කරති. SOFA ගිවිසුම හරහා ශ්‍රී ලංකාව, ඇමරිකානු හමුදා කඳවුරක් ලෙස භාවිත කිරීමට උත්සාහ දරන බව ද හෙතෙම පවසයි. එය රටේ ස්ථාවරභාවයට ද අනතුරකි.

චීන ආර්ථිකය ලෝකයට ‍ප්‍රතිලාභ ගෙන දෙන අයුරෙන් ව්‍යප්ත වෙමින් තිබේ. චීනය ආර්ථික සහ වෙළඳාම තුළ එලෙස ප්‍රමුඛස්ථානයකට පැමිණ ඇත්තේ යුධමය ලෙස හෝ ආක්‍රමණික සුරාකෑමෙන් නොවේ. චීනය සිය වෙළඳ දක්ෂතා මත ඉදිරියට පැමිණි රටක් ලෙස සුවිශේෂී වේ. ශ්‍රී ලංකාව වැනි රටවල් චීනය සමග ආර්ථික සම්බන්ධතා ඇති කර ගැනීම පිළිබඳ ඇමරිකාව කැමැත්තක් නොදක්වයි. එහෙත් ඇමරිකාව සිය ආර්ථික වර්ධනයට අතීතයේ දී ලෝක යුද්ධ හරහා ඉඩ ප්‍රස්ථා ලබා ගත්ත ද තවදුරටත් එසේ කිරීමට ඇමරිකාවට හැකියාව නොමැති බව ද මහාචාර්ය තිස්ස විතාරණ මහතා අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම