තුර්කිය විසින් සිරියාව තුළ යුදමය මෙහෙයුම් දියත් කිරීමට ඉඩ ඇතැයි ඉරානයේ කණස්සල්ල පළවේ
2022-07-21 13:50:58
Share with:

තුර්කිය, සිරියාව තුළ යුදමය මෙහෙයුම් දියත් කිරීමට ඉඩ ඇති බවට ඉරානය කණස්සල්ල පළකරයි. ඉරාන විදේශ අමාත්‍ය Hossein Amir-Abdollahian මහතා, එරට නිල සංචාරයක නිරත සිරියානු විදේශ අමාත්‍ය Faisal Mekdad මහතා සමග ඊයේ(20) Tehran අගනුවර පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේ ය.

ඉරාන විදේශ අමාත්‍යවරයා පවසන්නේ ඉරානය, තුර්කිය හා සිරියාව සමග සංවාද හා සාකච්ඡා පවත්වමින් සිටින බවයි. තුර්කි-සිරියා දේශ සීමා මායිම්වල පවතින ආරක්ෂක ගැටළු කෙරෙහි තුර්කිය දක්වා ඇති කණස්සල්ල සමනය කිරීමට ඉරානය උත්සාහ කර තිබේ.

මේ අතර, සිරියාව තුළ පිහිටි Euphrates ගංගාවට නැගෙනහිර ප්‍රදේශයේ ස්ථාපනය කරන ලද ඇමරිකානු හමුදා ගැටළුකාරී තත්ත්වයක් ගොඩනගා ඇතැයි ද ඉරාන විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෑත වසරවලදී, ඇමරිකාව මෙම ප්‍රදේශයේ ස්වාභාවික සම්පත් පැහැරගෙන, එහි දේශපාලන තත්ත්වයට අනිසි බලපෑමක් එල්ල කර තිබේ. ‘කිසිදු කොන්දේසියකින් තොරව ඇමරිකානු හමුදා හැකි ඉක්මණින් ම සිරියාවෙන් ඉවත් කර ගත යුතු ’ බව ද ඉරාන විදේශ අමාත්‍ය Hossein Amir-Abdollahian මහතා පවසයි.

තුර්කිය බොහෝ අවස්ථාවල සඳහන් කර ඇත්තේ, උතුරු සිරියාවේ යුදමය මෙහෙයුම් ක්‍රියාවට නැංවීම සඳහා සැලසුම් කර ඇති බවයි. තුර්කි-සිරියා දේශ සීමා මායිම් ආශ්‍රිතව කිලෝමීටර් 30ක දිගින් යුත් ‘ ආරක්ෂක කලාපයක් ’ බිහි කිරීම ඊට ඇතුළත් වෙයි. මේ පිළිබඳව සිරියාව විරෝධය පළ කර ඇති අතර, තුර්කිය සහ සිරියාව අතර සම්බන්ධතා දැනටමත් ආතතිමය තත්ත්වයක පවතී.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම