ශ්‍රී ලංකාවේ අට වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දෙයි. උත්සවය පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (21) පෙරවරුවේ පැවැත්විණ.
නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීම වෙනුවෙන් චාම් උත්සවයක් සංවිධාන කර තිබිණ. රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට දී පිළිගනු ලැබුවේ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසිනි.
නව ජනාධිපතිවරයා වෙනුවෙන් ත්‍රිවිධ හමුදා උත්තමාචාරය පිරිනැමිණ.
අනතුරුව, පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපතිවරයා, දිවුරුම් දුන්නේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ ය.
මෙරට දේශපාලන ඉතිහාසයේ නියෝජ්‍ය අමාත්‍ය, අමාත්‍ය, විපක්ෂ නායක හා අග්‍රාමාත්‍ය යන ධුර දරමින්, වසර 45ක අත්දැකීම් සපිරි වික්‍රමසිංහ මහතා 1977 වසරේ එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට එක්වූයේ එවක ළාබාලතම මන්ත්‍රීවරයා ලෙසයි. ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරය හය වරක් හෙබවූ ඔහු ඊයේ (20) පැවති පාර්ලිමේන්තු මැතිවරණයට එක්වන විට මෙරට වැඩබලන ජනාධිපතිවරයා ලෙස ක්‍රියාකළේය.
ඉකුත් මැයි 9 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග එම ධුරයට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා විසින් රටේ පවතින අර්බුදකාරී තත්ත්වය පිටුදැකීමට කඩිනම් ක්‍රියාමාර්ග රැසක් ගනු ලැබීය. මේ වනවිට හෙතෙම 73 වැනි වියේ පසුවෙයි.
ඊයේ (20) පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමෙන් ඡන්ද 134ක් ලබා ගනිමින් ජයග්‍රහණය කළ වික්‍රමසිංහ මහතාට එහිදී හිමි වූ වැඩි ඡන්ද සංඛ්‍යාව 52කි. පාර්ලිමේන්තු ඡන්ද විමසීමකින් ධුරයට පත් මෙරට පළමු ජනාධිපතිවරයා ලෙස ද රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසයට එක්වෙයි.