නව ක්‍රමයක් ඔස්සේ රට ගොඩනැගීමට එක්වන්නැයි නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලාසිටී
2022-07-20 17:28:48
Share with:

බෙදී සිටි කාලය අවසන් වී ඇති බැවින් නව ක්‍රමයක් ඔස්සේ රට ගොඩනැගීමට එක්වන්නැයි ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා සියලු ජනතා නියෝජිතයන්ගෙන් ඉල්ලයි.

හෙතෙම මේ බව කියාසිටියේ, අද (ජූලි 20) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

වසර 45ක පාර්ලිමේන්තු අත්දැකීම් සහිත තමන්ට, ජීවිතය බඳු වූ පාර්ලිමේන්තුවෙන් මෙම ගෞරවය ලබාදීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බව ද වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය. තමන් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන්ට ද නව ජනාධිපතිවරයා ස්තුති කළේ ය.

රටේ තරුණ තරුණියෝ පවතින  ක්‍රමයේ වෙනසක් ඉල්ලා සිටිති. ජනතාව අපේක්ෂා කරන්නේ පැරණි දේශපාලන රටාව නොවේ. අප මුහුණ පා සිටින  සියලු ප්‍රශ්න විසඳා ගනිමින් ඉදිරියට යාම සඳහා නව වැඩසටහනක් හඳුන්වාදෙන බව ද වික්‍රමසිංහ මහතා පැවසීය. ඊට එක්වන ලෙස, සෙසු අපේක්ෂකයන් ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ සියලු පාර්ශ්වයන්ගෙන් ඔහු ඉල්ලා සිටියේය.

වික්‍රමසිංහ මහතා සිය ප්‍රකාශය අවසානයේ කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ, තමන්ට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේදී ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට අවසර ලබාදෙන ලෙස ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම