ශ්‍රී ලංකාවේ අර්බුදය කලාපීය භූ දේශපාලනය සමග බද්ධ වී ඇත
2022-07-19 16:21:55
Share with:

ශ්‍රී ලංකාව මේ වනවිට ඉතිහාසයේ මුහුණ පෑ දරුණුම ආර්ථික අර්බුදයට මුහුණ පා සිටී. විනිමය සංචිත හිඟය, විදේශ ණය ගෙවා ගත නොහැකි වීම, ඉන්ධන හා ආහාර සැපයුම අඩාල වීම ඊට දරුණු ලෙස බලපා ඇත. මේ නිසා ශ්‍රී ලංකාවට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ පිහිට පැතීමට සිදුව තිබේ. අතීත අත්දැකීම් අනුව සිතා බැලීමේදී, අන්තර්ජාතික මූල්‍ය අරමුදල කෙතෙක් දුරට මෙරටට සහය ලබාදේ ද යන කාරණය තවමත් පැහැදිලි නැතැයි, ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී විජය දිසානායක මහතා කියාසිටී.

රට තුළ උත්සන්න වූ ජනතා විරෝධය හමුවේ අගමැති හා ජනපතිවරුන්ට ඉල්ලා අස්වීමට පවා සිදුවිය. හෙට දිනයේ (20) ජනපතිවරයෙකු තෝරාගැනීමට නියමිතව පවතී. මේ සංකීර්ණ අර්බුදයට තුඩු දී ඇති, එහෙත් මාධ්‍ය ඔස්සේ ගැඹුරින් සාකච්ඡා නොකෙරෙන, දේශීය දේශපාලනයෙන් ඔබ්බෙහි පවතින ගෝලීය ආර්ථික අර්බුදය හා කලාපීය භූ දේශපාලනයේ  මානයන් කෙරෙහි ද අවධානය යොමුකිරීම වැදගත්ය. මේ අර්බුදයට බලපෑවේ රටේ ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ රජය අසමත් වීම පමණක් නොවේ.

බැලූබැල්මට මෙය රටේ අභ්‍යන්තර කාරණයක් ලෙස පෙනුණත් කලාපීය භූ දේශපාලනය සමග මෙය බද්ධ වී තිබේ. කලාපය වශයෙන් ගත් විට චීනය ජගත් බලවතෙකු ලෙස ගොඩනැගීමට අවකාශයක් නොදෙමින් කලාපීය වශයෙන් මතුවී ඇති චීන බලපෑම්වලට එරෙහිව ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල ප්‍රතිචාරය වී ඇත්තේ, තම පාලනයෙන් දුරස් රටවල අර්බුද නිර්මාණය කිරීමයි. එනම්,  "එක් තීරයක්- එක් මාවතක්" හා සම්බන්ධ ප්‍රධාන මර්මස්ථාන පවතින පාකිස්තානය, බංග්ලාදේශය වැනි රටවල් මෙන්ම ශ්‍රී ලංකාවේ වර්තමාන අර්බුදය යන මේ සියල්ල පසුපස කිසියම් පිටස්තර අවශ්‍යතාවක් හෝ මෙහෙයවීමක් මත පවතින්නේ ද යන කාරණය කෙරෙහි මේ වනවිට අවධානය යොමු ව පවතී. එසේම, මීට‘චීන ණය උගුල’හෝ යුක්රේන යුද්ධය බලපෑ බවට හුවා දැක්වීමට උත්සාහ දැරුව ද ඒ පදනම් විරහිත විග්‍රහයකි. ලෝක වසංගතය නිසා හටගත් ආර්ථික අර්බුදය නම් මේ තත්ත්වයට බලපෑ බව කිව හැකිය. රටේ විදේශ සංචිත අඩුවීමට මෙවැනි තත්වයන් බලපෑ නමුත් යුක්‍රේන යුද්ධය ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදය කෙරෙහි බලපෑ එකම හේතුව ලෙස හුවා දැක්වීමේ බටහිර ආඛ්‍යානය වැළදගැනීමට පෙර දෙවරක් සිතා බැලිය යුතුයි.

රටවල් අස්ථාවර කිරීමේ බටහිර රටවල උපායමාර්ග දෙකක් ඇත. ඒ,චීනයට ලොව පුරා පවතින හිතවත් බලපෑම් අවම කිරීම සඳහා තමන්ට හිතවත් පාලන තන්ත්‍ර  බලයට රැගෙන ඒම සහ තමන්ට අවනත නොවන පාලන තන්ත්‍ර පෙරළා දමා, රටවල් ව්‍යාකූල කර අරාජිකත්වයට පත් කිරීමයි.  ජනතාව මත එල්ලවූ පීඩනයෙන් ජන අරගල හටගත්ත ද මේ තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් කිසියම් කණ්ඩායම් පාලන තන්ත්‍ර පෙරළා දැමීමට ප්‍රයත්න දරන්නේ ද, මේ තත්ත්වය පිටුපස යම් විදෙස් කුමන්ත්‍රණයක් පවතින්නේද යන්න විමර්ශනයට ලක් කළ යුතු බව ද දිසානායක මහතා කියාසිටී.

කෙසේවෙතත් මුලින්ම මේ අර්බුදය කළමනාකරණය කර ගැනීමට ස්ථාවර පාලනයක් බිහිකර ගැනීම අත්‍යවශ්‍ය වේ. මේ අර්බුදය කළමනාකරණයේ දී අන්තර්ජාතික මූල්‍ය අරමුදල පිළිබඳව පමණක් විශ්වාසය තැබිය නොහැකි බැවින් ශ්‍රී ලංකාවට මිත්‍රශීලි රටවල සහය ලබාගැනීම ද අතිශය වැදගත් වන බව ප්‍රවීණ දේශපාලන විචාරක විජය දිසානායක මහතා පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම