සාම්ප්‍රදායික ලෝක දේශපාලන සහ ආර්ථික ක්‍රමය වෙනස් කළ චීන කොමියුනිස්ට් පක්ෂයේ නව ආර්ථික ක්‍රමය
2022-07-18 10:42:14
Share with:

චීනය ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටි කාලවකවානුවක චීන කොමියුනිස්ට් පක්ෂය බිහි විය. ලෝකයේ රාජ්‍යන් අතර ගැටුම් නිර්මාණය වූ පසුබිමක සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කරමින් චීන කොමියුනිස්ට් පක්ෂය බිහි වේ. 1949 වන විට තීරණාත්මක අවස්ථාවකට පැමිණීමට චීන කොමියුනිස්ට් පක්ෂය සමත් වීම විශේෂ වේ. චීන විප්ලවය ජයගැනීම එහි ස්වර්ණමය අවස්ථාවකි. එමෙන්ම ආසියාවේ බලය සමතුලිත කිරීම උදෙසා විශාල මැදිහත්වීමක් චීන කොමියුනිස්ට් පක්ෂය හරහා සිදු වූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අශෝක වීරසිංහ මහතා පවසයි.

චීනයේ ඇති වූ මෙම සමාජ පරිවර්තනය එක්වරම ජයග්‍රහණයකින් අවසන් නොවිණි. මේ සඳහා මිලියන ගණනක ජීවිත පුද කරමින් ඔවුන් සමාජ විප්ලවයක් ඇති කිරීමට කටයුතු කළහ. එය ඊළග දශකයේ චීනයේ සංවර්ධනයට මූලික පසුබිම නිර්මාණය කළ බව හෙතෙම පවසයි. මේ සියලු කැප කිරීම් තුළ සමාජ සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට කොමියුනිස්ට් පක්ෂය සමත් වී ඇත. මෙහිදී ඔවුන් නිර්මාණය කළ වෙළෙඳපොළ යාන්ත්‍රණය චීනය අද වන විට බලවත් රාජ්‍යක් බවට පත් වීමට ප්‍රධාන උත්ප්‍රේරකයක් සපයනු ලැබීය. අහමි වීම් සහ කඩා වැටීම් තුළ ආරම්භ වූ චීන කොමියුනිස්ට් පක්ෂයට මාඕ සේතුං නිවැරදි මගපෙන්වීමක් ලබා දෙමින් චීනය යම් ආර්ථික ස්ථාවරයකට ගෙන ඒමට සමත් විය.

ආසියානු කලාපයේ රටවල් බොහොමයක් බටහිර ක්‍රමයක් අනුගමනය කළ ද බලවත්ම රාජ්‍ය බවට පත්ව ඇත්තේ චීනයයි. මාඕ සේතුංගෙන් පසුව කොමියුනිස්ට් පක්ෂ ක්‍රමය, සිය ආර්ථික ක්‍රමයට ගැළපෙන ලෙස හැඩගස්වා ගැනීමට යොමු විය. විශෙෂයෙන් ඩෙන් ෂියාඕපිං නූතන චීන ආර්ථිකය නිර්මාණය කිරීමට ප්‍රබල මැදිහත්වීමක් සපයන ලදි. විවෘත ආර්ථිකයේ යම් ලක්ෂණ චීන ආර්ථික ක්‍රමයට මුසු කරමින් සංකීර්ණ ප්‍රතිසංස්කරණ සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය ප්‍රවේශ විය. ඒ සමගම නූතන වෙළෙඳපොළ ක්‍රමයට සම්බන්ධ වෙමින් සිය දේශපාලන ක්‍රමය තුළ නව අර්ථ ක්‍රමයක් ලෝකයට හඳුන්වා දීමට ඔවුන්ට හැකි විය. මේ අයුරින් චීන කොමියුනිස්ට් පක්ෂය සිය දේශපාලන ක්‍රමය තුළ, චීනයට ආවේණික ආර්ථික ක්‍රමයක් නිර්මාණය කර ගනිමින් සමතුලිත ආර්ථික වර්ධනයක් සාක්ෂාත් කර ගැනීම, ආසියාවේ පමණක් නොව ලෝක දේශපාලනයේ වඩා තීරණාත්මක සන්ධිස්ථානයක් සටහන් කළ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අශෝක වීරසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම