චීනයේ විදේශ ආයෝජන හරහා ගමන් කරන්නේ ලෝක සාමයේ පණිවුඩයයි
2022-07-04 11:13:03
Share with:

චීනය ලෝකයේ බලවත් රාජ්‍යයක් ලෙස ආසියානු හා අනෙකුත් කලාපයන්හි ප්‍රධාන ආයෝජකයෙක් ලෙස සිය භූමිකාව ඉටු කරමින් සිටී. ශ්‍රී ලංකාව තුළ ද විවිධ අංශවල ආයෝජන කිරීමට චීනය යොමුව ඇත. දැවැන්ත පරිමාණයේ වරාය, ගුවන් තොටුපොළ, විශේෂ ආර්ථික කලාප, බලශක්ති සහ සංචාරක ව්‍යාපාරය ආදී වූ ක්ෂෙත්‍රයන්හි චීන රාජ්‍ය හා පෞද්ගලික සෘජු ආයෝජනයන් ලංකාවට ලැබී ඇත. ලංකාව වැනි පරිධියේ කලාප ගැඹුරු ආර්ථික අර්බුදයන්ට ගමන් කරමින් සිටින වකවාණුවක චීනය ආයෝජනයන් සඳහා යොමු වෙමින් එම රටවල්වල ආර්ථික උපායමාර්ගයන්ට දායක වීම විශේෂ අවස්ථාවක් බව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ ජාත්‍යන්තර සබඳතා අධ්‍යානාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අතුලසිරි සමරකෝන් මහතා පවසයි.

චීන ආයෝජන දේශීය සංවර්ධනයට, වෙළඳාමට, නාවික ගමනාගමනයට සහ ප්‍රවාහනයට වැදගත් වේ. කලාප අතර සහයෝගිතාවය වර්ධනය කිරීමට, ලෝක ආරක්ෂාවට, ලෝක සාමයට සහ ගෝලීය ආර්ථික සංවර්ධනයට, බලවත් සහ පරිධියේ රටවල් සාමුහිකව  ක්‍රියා කිරීම ඉතා වැදගත් වනු ඇති බව ඔහුගේ අදහසයි. පවතින බල තුලනය සහ ආරක්ෂක ගැටලු දෙස මනුෂ්‍ය වර්ගයාගේ අනාගත සංවර්ධනය පිළිබඳ දෘෂ්ටිකෝණයෙන් බැලිය යුතු බවත්, චීනය එහි දී ලෝක සංවර්ධනයට විශාල දායකත්වයක් ලබාදෙන අතර එය අගය කළ යුතු බවයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

චීනය තිරසාර ආර්ථික සංවර්ධනයක් පවත්වා ගැනීම සඳහා ලොව අන් රටවල් සමග අඛණ්ඩ සබඳතාවයක් ගොඩ නගා ගනිමින්සිටී. “එක් තීරයක් එක් මාවතක්“ ව්‍යාපෘතිය හරහා එය තවදුරටත් ශක්තිමත් වනු ඇත. මේ අයුරින් චීනය සබඳතා හරහා ගොඩනගා ගෙන ඇති හැකියාව ඉතා අගය කළ යුතු වේ. මේ සබඳතා තුළින් වෙළඳාමේ ප්‍රසාරණය මෙන්ම කලාපීය ආරක්ෂාවට සාධනීය බලපෑමක් ඇති වන බව ඔහු ප්‍රකාශ කළේය.

20 හා 21 වන සියවසේ ලෝක සාමය රඳා පවතිනුයේ බලවත් රාජ්‍යයන් අතර පවතින සම්මූතීන් මතය. ඒ සඳහා චීනයට ධනාත්මක බලපෑමක් කිරීමට හැකි වී ඇත. මේ අනුව චීන ආයෝජනත් සමග ලෝක සාමයේ පණිවුඩය ලෝකය පුරා ගමන් කරන බව ඔහු අවධාරණය කරයි. බලවත් රාජ්‍යයක් ලෙස සිය වගකීම ඉටු කරමින් චීනය වඩාත් සාධනීය දායකත්වයක් ලබා දෙමින් ඇත. අනෙකුත් රටවල් චීනය සමග කටයුතු කිරීමේ ධනාත්මක චින්තනමය ප්‍රවේශයකට යොමු වීම වැදගත් බවයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අතුලසිරි සමරකෝන් මහතා වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම