BRICS සංවිධානයේ ඉදිරි වැඩපිළිවෙළ ගෝලීය පැවැත්ම පරිවර්තනය කිරීමට නව බහුපාර්ශවීය ප්‍රවේශයක්
2022-06-24 16:40:13
Share with:

BRICS සංවිධානය, ලෝකයේ සීඝ්‍රයෙන් නැගී ගෙන එන රටවල් වන බ්‍රසීලය, රුසියාව, චීනය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල් සාමුහිකව එක්ව ගොඩ නගා ගත් සංවිධානයකි. මෙමගින් දැනට පවතින ගෝලීය ක්‍රමය සාධාරණ ක්‍රමවේදයකට යොමුකිරීමට සමත්ව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යාව සහ සංඛ්‍යාන අධ්‍යානාංශයේ, මහාචාර්ය O.G.දයාරත්න බණ්ඩා මහතා පවසයි.

බටහිර ආධිපත්‍යය තුළ ක්‍රියාත්මක වූ ලෝක ක්‍රමය නැගී එන රටවල්වලට අවාසිදායක වී ඇත. ගෝලීය පැවැත්ම බහුපාර්ශ්වික ලෝක ක්‍රමයක් බවට පරිවර්තනය කිරීමටත්, නැගී එන රටවල්වල ආර්ථික බලය සාමුහිකව පෙන්වීමත් BRICS සංවිධානය නියත වශයෙන්ම හේතු වන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. මෙමගින් එක් දේශපාලන ක්‍රමයක් ගෝලීයව ප්‍රචලිත නොවී, රටවල්වල ස්වාධිපත්‍යය හා ස්වෛරීභාවය ස්ථාපිත වීමක් ද සිදු වේ.

ලෝකයට වඩාත් ගැළපෙන්නේ බහුපාර්ශවීය ලෝක ක්‍රමයකි. ඒ අනුව බහුපාර්ශවීය ලෝක වෙළෙඳ ක්‍රමයක්, මූල්‍ය ක්‍රමයක්, ආරක්ෂක ක්‍රමයක් ගොඩ නගා ගැනීම සඳහා BRICS සංවිධානය පුළුල් කිරීම වඩා ඵලදායී වනු ඇත. චීනය මේ සඳහා ගන්නා උත්සාහය තුළ, නැගී එන රටවල්වල ආර්ථික බලය, ආර්ථික ශක්තිය හා ආර්ථික අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමට විශේෂයෙන්ම වැදගත් වේ.

බහුපාර්ශවීය ක්‍රමයට යම් බටහිර පාර්ශවයන්ගේ පවතින විරුද්ධ මතවාදය පරාජය කිරීම උදෙසා BRICS සංවිධානය පුළුල් සහ ශක්තිමත් කිරීම අවශ්‍ය බව ඔහු අවධාරණය කරයි. උතුරු ඇමරිකාව සහ යුරෝපා සංගමයේ රටවල්, ලෝකයේ අනෙකුත් රටවල් කෙරෙහි ක්‍රියාත්මක කරන්නේ බෙදා වෙන් කර පාලනය කිරීමේ ක්‍රමයකි. එසේම එම රටවල් අතර විවිධ දේශපාලන ගැටලු නිර්මාණය කරමින්, සමගිය ඇති වීමට බාධා ඇති කිරීමට බටහිර මූලික වූ යම් රටවල් විසින් කාලයක් තිස්සේ උත්සහ කරන බව ද ඔහු ප්‍රකාශ කරයි.

ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන ප්‍රධාන සංවිධානයන් බටහිර ධනවාදී රටවල බලයට නතු වී, එම රටවල රූකඩයන් බවට පත්ව ඇත. බටහිර බලයට බලපෑම් කළ හැකි විකල්ප බහුපාර්ශවීය බලයක් නැගී එන රටවල් තුළින් ක්‍රියාත්මක වීම හරහා, මෙම ගෝලීය සංවිධාන ව්‍යුහයන් වෙනස් කිරීමට ද හැකියාවක් ලැබෙනු ඇති බවයි මහාචාර්යවරයා පවසන්නේ. බටහිර රටවල න්‍යායපත්‍රයන් සහ උපායමාර්ග පැහැදිලිව හඳුනා ගෙන කටයුතු කිරීම මෙහි දී වඩා වැදගත් වේ. චීනය යෝජනා කරන පරිදි සහයෝගී ආර්ථික වැඩපිළිවෙළක් නිර්මාණය කර ගැනීම ඒ සඳහා යෝග්‍ය වනු ඇත. ඊට එරෙහිව පැමිණෙන බාධාවන්  අභිමුව මතවාදී ලෙස සටන් කිරීම ඉතා වැදගත් ය.

ආර්ථික, වෙළඳාම, ආයෝජන සහ ශ්‍රම හුවමාරුව ආදී සියලු අංශයන් නියෝජනය වන පුළුල් සංවිධාන ව්‍යුහයකින්, ශක්තිමත් යාන්ත්‍රණයක් ගොඩනැගීම තුළින් උපායමාර්ගික ලෙස සාර්ථකත්වයට පත් වීමට BRICS සංවිධානයට හැකි බවයි මහාචාර්ය දයාරත්න බණ්ඩා මහතා වැඩිදුරටත් පවසන්නේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම