ජාත්‍යන්තර දේශපාලනය තුළ නව හැඩයක් නිර්මාණය කරන චීනයේ බහුපාර්ශවීය ප්‍රවේශය
2022-06-13 14:28:38
Share with:

බහුපාර්ශවවාදය දීර්ඝ ඉතිහාසයක් සහිත සංකල්පයක් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදයක් බව කැළණිය විශ්ව විද්‍යාලයේ, දේශපාලන විද්‍යා අධ්‍යානාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සම්පත් රාජපක්ෂ මහතා පවසයි. අතීතයට සාපේක්ෂව වර්තමානයේ දී ජාත්‍යන්තර දේශපාලන කතිකාවත තුළ, වැඩි අවධානයක් බහුපාර්ශවවාදය සම්බන්ධව යොමුව පවතී. මෙමගින්, වර්තමානයේ සියලුම රටවල් ජාත්‍යන්තර ගැටලුවලට මැදිහත් වීම සහ ගැටලු නිරාකරණය කිරීම සම්බන්ධ නීති රීති සහ රෙගුලාසි පද්ධතිය සකස් කිරීමේ දී සමාන ප්‍රවේශයක් හිමි වීම විශේෂත්වයක් බව ද ඔහු කියා සිටී. එමෙන්ම වර්තමානයේ පවතින ගෝලීය අර්බුදවලට සාර්ථකව මුහුණ දීම සඳහා බහුපාර්ශවීය ක්‍රමයක වැදගත්කම අගය කළ යුතු වේ. ජාත්‍යන්තර සබඳතාවල බලය බෙදා හැරීමේ යථාර්ථයන් සහ විභවයන් නිර්මාණය කර ගැනීමට මෙන්ම සහයෝගීතා උපායමාර්ග ගොඩනැගීමටත්, ලෝක සාමය සහ සුරක්ෂිතතාව පවත්වා ගැනීමටත් බහුපාර්ශවීය ක්‍රමයක් ගොඩනැංවීම වැදගත් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ දක්වා කාලය තුළ ඇමරිකා එක්සත් ජනපදයේ නායකත්වයෙන් ලෝක ක්‍රමය තීරණය වන බව බොහෝ අය විග්‍රහ කළද,  වර්තමානයේ යථාර්ථය තුළින් පැහැදිලි වන්නේ එය තවත් රටවල ගණනාවකට කේන්ද්‍රගත වී ඇති බවයි. 2021 වර්ෂයේ දී ලෝක ආර්ථික සංසදය ඇමතූ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිය කතාවෙහි මූඛ්‍ය කරුණ බවට "බහුපාර්ශවවාදය" පිළිබඳ අදහස් දැක්වීය. චීනයට අවශ්‍ය වන්නේ යුක්‍තිය මිස අධිපතිවාදය නොවන බව ද චීන ජනාධිපතිවරයා එහි දී  ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල ද, චීනය විසින් විශාල ආයෝජන, ආර්ථිකමය ආධාර ලබා දී ඇත. විශේෂයෙන් දකුණු ආසියානු, බටහිර මෙන්ම අප්‍රිකා රාජ්‍යයන් සමග චීනය ද්විපාර්ශවික සබඳතා මේ වන විටත් ගොඩනගාගෙන ඇත. එමෙන්ම ආසියානු කලාපය සමග කලාපීය බහුපාර්ශවීය සබඳතාවයන් ද වර්ධනය කර ගෙන ඇත. ආසියානු සංවිධානය, ලතින් ඇමරිකානු කලාපීය සංවිධාන සමග ද සහයෝගිතාවයන් ඇති කර ගැනීමට චීනය සමත්ව ඇත. එමෙන්ම ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ස්ථාපිත කිරීම, නව සංවර්ධන බැංකුව ස්ථාපිත කිරීම(BRICS) සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කිරීම තුළ බහුපාර්ශවවාදී මූලධර්මය මනාව උද්දීපනය වේ.

ඇමරිකාව විසින් ලෝකය තුළ පවත්වා ගෙන යෑමට උත්සාහ කරන අධිකාරියට ප්‍රතිචාර දැක්වීමට චීනය විසින් ඉදිරිපත් කරන බහුපාර්ශවීය ප්‍රවේශය මුලෝපායික වශයෙන් ඉතා වැදගත් වන බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා ප්‍රකාශ කළේය. බහුපාර්ශවවාතය වෙනුවෙන් චීනය පෙනී සිටීම ලෝක සාමය හා සුරක්ෂිතතාවය පවත්වා ගැනීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කරන බව ද ඔහු පවසයි. එමෙන්ම එය ජාත්‍යන්තර දේශපාලනය තුළ නව හැඩයක් නිර්මාණය කිරීමට ඉවහල් වන බව ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සම්පත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම