චීන පෞරාණික කෘෂි ශිෂ්ටාචාර උරුමය යළි නිරීක්ෂණයට එක් වූ චීන ජනපති
2022-06-09 17:21:36
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ස්චුවාන් පළාතේ මෙයි ෂන් නගරයේ සංචාරයක නිරත‍ වෙයි.

චීනයේ පැරණි කෘෂි ශිෂ්ටාචාර උරුමයන් රැසක් පිහිටා ඇති මෙයි ෂන් නගරය, රටේ පැරණි සංස්කෘතික වටිනාකම් මැනවින් හඳුනාගත හැකි ස්ථානයක් වශයෙන් ද සැලකේ.

චීන ජනාධිපතිවරයා ඊයේ (08) සිදුකෙරුණු සිය සංචාරයේදී ප්‍රථමයෙන් පැමිණියේ මෙයි ෂන් නගරයේ දොං පෝ දිස්ත්‍රික්කයේ යොං ෆෙං ගම්මානයටයි. ඉහළ ප්‍රමිතිගත වගාබිම් සංවර්ධනය වේගවත් කිරීම සහ ධාන්‍ය නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවාලීම , යොං ෆෙං ගම්මානය නිරීක්ෂණ කිරීමේදී චීන ජනාධිපතිවරයා වැඩි අවධානය යොමු කළ කාර්යයන් ය. මේ වසරේ ෂී ජින් පිං මහතා ග්‍රාමීය ප්‍රදේශ රැසක නිරීක්ෂණ චාරිකාවන්හි නිරත විය. එවන් සෑම අවස්ථාවකදී ම හෙතෙම ගම්මානවල පුනරුදය පිළිබඳ සඳහන් කර තිබීම විශේෂත්වයකි. යොං ෆෙං ගම්මානයේ රැඳී සිටි අවස්ථාවේදී ද හෙතෙම ගම්මාන සමෘද්ධිමත් කිරීම පිළිබඳ උපදෙස් දී තිබේ.

මෙයි ෂන් නගරයේ ස්ථාපිත චීන සාහිත්‍ය වංශයේ සුප්‍රකට පියපුත් තිදෙනාගේ අනුස්මරණ ශාලාව නැරඹීමට ද චීන ජනාධිපතිවරයා අමතක නොකළේය. සු ෂුන් සහ සිය පුත්‍රයන් දෙදෙනා වන සු ෂී හා සු ච, විශිෂ්ට සාහිත්‍යධරයන් වශයෙන් චීන සාහිත්‍යය වෙසෙසින් පෝෂණය කර ඇත. ඔවුන් තිදෙනාගෙන් වඩාත් දීප්තිමත් චරිතය වූ සු ෂී ගේ වදන් උපුටා දැක්වීම, දේශන පවත්වන විවිධ අවස්ථාවලදී චීන ජනාධිපතිවරයාගේ විශේෂ පුරුද්දකි. එම අනුස්මරණ ශාලාවේ සංරක්ෂණ කටයුතු පිළිබඳව ද හෙතෙම විමසා බැලීය.

මීට වසර 4කට පෙර ද චීන ජනාධිපතිවරයා ස්චුවාන් පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එම චාරිකාවේදී  ජනාධිපතිවරයා දිළිඳුකම තුරන් කිරීමේ සටනින් ජය ගැනීමේ අධිෂ්ඨානය අවධාරණය කළ අයුරු යළි අපගේ මතකයට නැගේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම