ප්‍රචණ්ඩ ක්‍රියා වළක්වා ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලයි
2022-05-11 17:26:09
Share with:

ප්‍රචණ්ඩ ක්‍රියා වළක්වා ගන්නා ලෙස, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.

සාමකාමී අරගලයක නිරත වෙමින් සිටි විරෝධතාකරුවන්ට පසුගියදා එල්ල කළ ප්‍රහාරය පිළිබඳව තමා දැඩි කණගාටුවට පත්වන බව ඇය ප්‍රකාශ කරයි. එසේම, ප්‍රහාරයට සම්බන්ධ, ඊට අනුබල දුන් සහ එය සංවිධාන කළ සියලුදෙනාට නිසි දඬුවම් ලබාදිය යුතු බව බැචලේ මහත්මිය පවසා ඇත.

සාමකාමී උද්ඝෝෂණවල නිරත වීමේ අයිතිය ආරක්ෂා කිරීමට රජයට වගකීමක් ඇත. හදිසි නීතිය පවතින අවස්ථාවේ එය ආරක්ෂා කිරීමට යොදවා සිටින බලධාරීන් සහ ආරක්ෂක අංශ සෑමවිටම අන්තර් ජාතික මානව හිමිකම් ආචාර ධර්මවලට යටත්ව කටයුතු කළ යුතු බව ද ඇය අවධාරණය කර සිටී.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ශ්‍රී ලංකාවේ තත්වය මනාව නිරීක්ෂණය කරමින් සිටින බව ද ඇය සඳහන් කර ඇත.

එසේම, ශ්‍රී ලංකා රජය ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ශක්තිමත් කරමින් ප්‍රචණ්ඩත්වය පාලනය කරනු ඇති බවටත්, ජනතා ප්‍රශ්නවලට විසඳුමක් සොයා ගනු ඇති බවටත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය විශ්වාසය පළ කර තිබේ.

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම